
ප්‍රධාන සුපිරි වෙළඳසැල්වල පවතින ක්‍රමවේද ප්‍රතිසංස්කරණයකින් තොරව ඔස්ට්‍රේලියාවට තමන් පෝෂණය කරගත නොහැකි අනාගතයකට මුහුණ දීමට සිදු වන බවට ඉහළ පෙළේ ගොවි සංවිධාන අනතුරු අඟවනවා.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ගොවි සංගමයේ උප සභාපති රෙබෙකා රියර්ඩන් මේ බව ප්‍රකාශ කළේ ඔරේන්ජ්හි සුපිරි වෙළඳසැල් මිලකරණය පිළිබඳ රජයේ පරීක්ෂණය හමුවේ සාක්ෂි ලබා දෙමින්.
ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල්වල ද්විත්ව පාලනය හමුවේ ගොවීන් තම ජීවනෝපාය පවත්වාගෙන යාමට අරගල කරමින් සිටින අතර නිෂ්පාදකයින් ව්‍යාපාරයෙන් ඉවත් වීමේ අවදානමක් ද පවතින බවයි ඇය සඳහන් කළේ.

මෙම සුපිරි වෙළඳසැල් බලවතුන් පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ සැබෑ ප්‍රතිසංස්කරණයක් නොමැති නම් ගොවීන් රටට අහිමි වනු ඇති බව ද රෙබෙකා රියර්ඩන් ප්‍රකාශ කළා.
ඇය පැවසුවේ නවසීලන්තයේ සහ කැනඩාවේ මෑත කාලීන ප්‍රතිසංස්කරණ ඔස්ට්‍රේලියාවට ඉදිරියට යාමට මග පෙන්වන බවයි.

ආහාර සහ සිල්ලර බඩු ආචාරධර්ම සංග්‍රහය අනිවාර්ය කිරීම සහ එය කඩ කිරීමට ලැබෙන දඩුවම් සමග ප්‍රතිසංස්කරණය ප්‍රවේශයක් ඔවුන් යෝජනා කර තිබෙනවා.
මේ සතියේ වික්ටෝරියා හි පැවති කමිටු නඩු විභාගයකදී මූල්‍ය උපදේශකයින් ද කියා සිටියේ මේ වන විට ජනතාව තම පවුල් පෝෂණය කිරීමට අරගලයක නිරත වන බවයි.
ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් පිළිබඳ මෙම පරීක්ෂණ කමිටුවේ අවසන් වාර්තාව මැයි 7 වැනිදා රජයට භාරදීමට නියමිතව තිබෙනවා.