ඉන්දුනීසියාවේ බතික් එයාර් ගුවන් සමාගමට අයත් යානයක නියමුවන් දෙදෙනෙකු ගුවන් ගමනක් අතරමැද නින්දට යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ජනවාරි 25 වනදා සුලවේසි සිට ජකර්තා අගනුවර දක්වා පියාසර කරමින් සිටියදී නියමුවන් දෙදෙනාම විනාඩි 28ක් නින්දට වැටී ඇති බවටයි හෙළිවී ඇත්තේ.
මේ වන විට ඔවුන් දෙදෙනාගේම සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඔවුන්ගෙන් එක් අයෙක් තම අලුත උපන් නිවුන් දරුවන් රැකබලා ගැනීමට බිරිඳට උදව් කිරීමෙන් වෙහෙසට පත්ව සිටීම හේතුවෙන් මෙලෙස නින්දට වැටි ඇතැයි සඳහන්.
එයාර්බස් ඒ 320 වර්ගයේ යානය නියමුවන්ගේ නින්ද හේතුවෙන් සුළු කාලයක් නියමිත ගමන් මාර්ගයෙන් ඉවතට ගිය ද මගීන් සහ කාර්ය මණ්ඩලයේ 153 දෙනා සමග නිරුපද්‍රිතව ගොඩ බැස තිබෙනවා.
ගුවන් යානය ගමන් ආරම්භ කර පැය භාගයකට පමණ පසු 32 හැවිරිදි ගුවන් නියමුවා විවේකයක් අවශ්‍ය බව පවසමින් යානය පාලනය කරන ලෙසට 28 හැවිරිදි සහායක නියමුවාට පවසා විවේක ගෙන ඇතැයි සඳහන්.
එහෙත් සහය නියමුවාට ද නොදැනුවත්වම නින්ද ගොස් ඇති අතර සිදු කර ඇති මූලික විමර්ශනයේ වාර්තාවට අනුව, ඔහු තම බිරිඳට ඔවුන්ගේ මාසයක් වයසැති නිවුන් දරුවන් රැකබලා ගැනීමට උදව් කිරීමෙන් වෙහෙසට පත්ව සිට තිබෙනවා.
ජකර්තා ගුවන් ගමනාගමන පාලක විසින් යානයේ නියමු කුටිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ප්‍රතිචාරයක් නොවීම හේතුවෙනුයි විමර්ශන ආරම්භ වූයේ.
විනාඩි 28කින් පසු ප්‍රධාන නියමුවා පිබිදී ජකර්තා වෙතින් ලද ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වූ අතර යානය ආරක්ෂිතව ගොඩ බස්සවා තිබෙනවා.
පියාසර කිරීමට පෙර සිදු කළ වෛද්‍ය පරීක්ෂණ මගින් නියමුවන් දෙදෙනා පියාසර කිරීමට සුදුසු තත්වයේ සිටි බව ද සඳහන්.