
සිඩ්නි සිට ඕක්ලන්ඩ් බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.
ඉන් 13 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
චිලී ගුවන් සේවයක් වන ලටාම් එයාර්ලයින්ස් සමාගමේ LA800 ගුවන් යානය ගුවන් ගමන අතරතුර තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ප්‍රබල චලනයක් සිදු වී ඇති බව සඳහන්.

අනතුරුව හදිසි සේවා ඔක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත්තේ ගුවන් යානයේ අනතුර පිළිබඳ වාර්තා වීම හේතුවෙන්.
ආසන්න වශයෙන් රෝගීන් 50 දෙනෙකුට එම ස්ථානයේදී ප්‍රතිකාර ලබා ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.

ඉතිරි රෝගීන් සුළු හා මධ්‍යස්ථ තුවාල ලබා ඇති අතර 13 දෙනෙකු මිඩ්ල්මෝර් රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
මෙම සිද්ධිය හේතුවෙන් ඇතැම් මගීන් සහ කැබින් කාර්ය මණ්ඩලය පීඩාවට පත් වූ අතර මේ සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බව ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
ගුවන් යානයේ සිටි එක් කාන්තාවක් දේශීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ගුවන් ගමන අතරතුර යානය ඉක්මන් පහත වැටීමක් සිදු වූ බවයි.
LATAM එයාර්ලයින්ස් සිඩ්නි, ඕක්ලන්ඩ් සහ දකුණු ඇමරිකාවේ ප්‍රධාන මධ්‍යස්ථාන අතර නිත්‍ය ගුවන් ගමන් සිදු කරනු ලබන ගුවන් සේවයක්.