කැනඩාවේ ශ්‍රී ලාංකික පවුලේ ඝාතනය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

කුඩා දරුවන් ද ඇතුලුව එකම පවුලේ ශ්‍රී ලංකිකයන් 6 දෙනෙකු කැනඩාවේදී සමූල ඝාතනයට ලක්වීමේ සිද්ධිය පිළිබඳ තවත් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මියගිය හයදෙනා කැනඩාවට මෑතකදී පැමිණි අය වන අතර කුඩාම දරුවා මාස තුනකට වඩා අඩු වයසක පසුවන බවයි පොලිසිය සඳහන් කළේ.

ඔටාවා ප්‍රාන්තයේ බාර්හේවන් ප්‍රදේශයෙන් නිවසකින් බදාදා රාත්‍රියේ මෙම සිරුරු සොයා ගනු ලැබුවේ ලැබුණු හදිසි ඇමතුම්වලට අනුවයි.

එහි පැමිණි සිය නිලධාරීන් 19 හැවිරිදි ශ්‍රී ලංකික සැකකරු ද අත්අඩංගුවට ගනු ලැබුවා.

එම පවුලේ සාමාජිකයන් නිතර ගමන් කළ ඔටාවාහි ප්‍රාදේශීය බෞද්ධ ආරාමයක සුනීත නම් ස්වාමින් වහන්සේ නමක් මාධ්‍ය වෙත කළ ප්‍රකාශවලින් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

තුවාල ලබා ප්‍රතිකාර සිටින පුද්ගලයා බැලීමට රෝහලට ගිය උන් වහන්සේ සඳහන් කළේ සිදු වූ දෙය පිළිබඳව ඔහු තවමත් කම්පනයකින් පසුවන බවයි.

ඔහුගේ මැද ඇඟිල්ල සම්පූර්ණයෙන්ම කැපී ඇති අතර නාසයට සහ ඇස අතර කොටසේ විශාල කැපුම් පහරක් පවතින බව ද උන්වහන්සේ සඳහන් කළා.

මෙම පවුල විහාරස්ථානයට බොහෝ උදව් කරන කාරුණික පුද්ගලයන් බව විදෙස් මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවකදී, සුනීත හිමියන් ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර මෙම සිදුවීමට මුහුණ දුන් වික්‍රමසිංහ පවුල පසුගිය වසරේ කැනඩාවට පැමිණි බව ඔටාවා හි ශ්‍රී ලංකා කැනඩා සංගමයේ හිටපු සභාපති නාරද කොඩිතුවක්කු මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කළා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක, ඇයගේ දරුවන් සිව්දෙනා වූ 7 හැවිරිදි ඉනුකා වික්‍රමසිංහ, සිව් හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, දෙහැවිරිදි රිනානා වික්‍රමසිංහ සහ මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහයි.

මියගිය අනෙක් පුද්ගලයා අමරකෝන් මුදියන්සේලාගේ ගාමිණී අමරකෝන් නමැති 40 හැවිරිදි අයෙක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

මේ අතර කැනඩාවේ බෞද්ධ සම්මේලනය විසින් මියගිය පවුලේ සාමාජිකයන් සහ තුවාල ලැබූ පුද්ගලයා වෙනුවෙන් ගෝ ෆන්ඩ් මී (GoFundMe) නමින් අරමුදලක් ආරම්භ කර ඇති අතර සිකුරාදා පස්වරුව වන විට ඔවුන් ඇමරිකා ඩොලර් 40000කට ආසන්න මුදලක් රැස් කර තිබුණා.

මියගිය කාන්තාවගේ සැමියා මෙම සිදුවීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඔහුට ජීවිත අවදානමක් නොමැති බවයි ඔටාවා පොලිස් ප්‍රධානියා සඳහන් කර ඇත්තේ.

ධනුෂ්ක වික්‍රමසිංහ නම් ඔහු ද ප්‍රහාරයට ලක්වී කැපුම් තුවාල ලැබුව ද සැකකරු පාලනය කර අසල්වාසීන්ගේ සහයෝගය ලබා ගැනීමට සමත් වී තිබුණා.

ඔහු රෝහලේදී ප්‍රකාශ කර ඇත්තේ තම සේවය අවසන් වී නිවසට පැමිණ බිරිඳ සහ කුඩා දරුවන් සොයා බැලීමේදී මෙම ඝාතනය අනාවරණ වූ බවයි.

සැකකරු 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නම් ශ්‍රී ලංකික සිසුවෙක් ලෙස පොලිසිය විසින් හඳුනා ගත් ඇති අතර මිනීමැරුම් චෝදනා හයක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් ඔහුට එල්ල වී තිබෙනවා.

මෙම සිදුවීම ඔටාවා හි මෑත ඉතිහාසයේ සිදු වූ විශාලතම ඝාතන සිදුවීම වන අතර එය කැනඩාවේ අගනුවරට සැළකිය යුතු බලපෑමක් ඇති කරන සැබෑ ඛේදවාචකයක් ලෙස හඳුන්වන බවයි නගරාධිපතිවරයා සඳහන් කළේ.

ඔටාවා නගරාධිපතිවරයා මෙම සමුහ මනුෂ්‍ය ඝාතන සිදුවීම හැඳින්වූයේ තම නගර ඉතිහාසයේ සිදු වූ වඩාත්ම කම්පන සහගත ප්‍රචණ්ඩ සිදුවීම ලෙසින්.

ටොරොන්ටෝහිදී, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ එය කම්පනය සහ භීතිය ගෙන දුන් බිහිසුණු ප්‍රචණ්ඩ සිදුවීමක් බවයි.

පොලිසිය අපරාධයට හේතුව නිශ්චිතව සඳහන් කර නොමැති අතර විමර්ශන සිදුවෙමින් පවතින බව සඳහන් කළා.

මේ අතර ෆේස්බුක් හි ප්‍රකාශයක් නිකුත් කරමින් ටොරොන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය විපතට පත් වූවන්ගේ පවුලේ අයට සහ මිතුරන්ට සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »