
අවම වශයෙන් ඔස්ට්‍රේලියානුවන් 20 දෙනෙකුගෙන් එක් අයෙකු සුනඛ භීතිකාව හෙවත් සයිනොෆෝබියා (Cynophobia) තත්වයෙන් පෙළෙන බව හෙළිවී තිබෙනවා.
සිඩ්නි නුවර සයිනොෆෝබියා ක්ලිනික්හි (Cynophobia Clinic) මනෝවිද්‍යාඥයෙකු සහ සුනඛ පුහුණුකරුවෙකු වන ඇන්තනි බෙරික් ඇතුළු ප්‍රවීණයන් සඳහන් කළේ ළමයින් තුළ මෙම භීතිය බහුලව දක්නට ලැබෙන බවයි.
සංක්‍රමණික ප්‍රජාවන්වල පුද්ගලයින් සහ ස්නායු රෝගී තත්වයන් ඇති පුද්ගලයින්ට ද මෙම තත්වය බලපාන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කොවිඩ් වසංගතය අතරතුර සුනඛ සුරතලුන්ගේ හිමිකාරිත්වය සියයට 10කින් වැඩි වීමත්, සුරතල් සතුන් කැෆේ වැනි පොදු ස්ථානවලට පිළිගැනීමත් සමඟ සයිනෝෆෝබියාව අත්විඳින දරුවෙකු සිටින පවුල් එදිනෙදා කටයුතුවලදී ආතතියට හා කලකිරීමට පත් විය හැකි බව අනාවරණ වී තිබෙනවා.
සුනඛ පුහුණුකරුවෙකු වන ඇන්තනි බෙරික් පවසන්නේ සයිනෝෆෝබියා තත්වය ඇති වීමට වඩාත් පොදු හේතුව සුනඛයන් සම්බන්ධයෙන් සෘණාත්මක අත්දැකීමක් වීමේ සම්භාවිතාව වැඩි බවයි.

බල්ලෙකු කුඩා දරුවෙකුගේ මුහුණට ලෙවකෑම වැනි අහිංසක දෙයක් ඇතැමුන්ට බිය ජනක ප්‍රතිචාරයක් ඇති කරන අමුතු හා අසාමාන්‍ය අත්දැකීමක් විය හැකි බව ඔහු පෙන්වා දෙනවා.
ඔවුන් ඉන් ඉවත් වීමට අවශ්‍ය වුව ද එය කළ යුත්තේ කෙසේද යන්න නොදැනීම හේතුවෙන් සිදු කරන කෑගැසීමට හෝ පලා යාම හමුවේ සුනඛයා කලබල වීම ඇතැම් සිදුවීම්වලට හේතුව බව මනෝවිද්‍යාඥයා ප්‍රකාශ කළා.
එමෙන්ම දැඩි සුපරීක්ෂාකාරී බවකින් යුක්ත වූවන්, සුනඛයන්ට නිරාවරණය නොවී ඇති පවුල් හෝ සංස්කෘතික පරිසරයක හැදී වැඩෙන පුද්ගලයින් ද මෙවැනි භීතිකාවකට තුඩු දිය හැකියි.
බොහෝ සුනඛයන් ඝෝෂාකාරී ශබ්දවලට සංවේදී වන අතර කෑගැසීම හමුවේ කුඩා දරුවන් සමඟ සෘණාත්මක ඇසුරක් ඇති වීමට අමතරව බියක් හෝ කාංසාවක් ද ඇති කළ හැකියි.
ඇතැම් දරුවන් ඔවුන් බිය වන සුනඛයන්ගෙන් පලා යාම එම සත්වයාගේ ලුහුබැඳීමේ ප්‍රතිචාරය අවුලුවාලිය හැකි බව ද හෙළිවී තිබෙනවා.
සියලුම සුනඛයින්ට සපා කෑමේ හැකියාව ඇති බව දරුවන් දැන සිටිය යුතු නමුත් එය සුනඛයන්ට බියක් ඇති කළ යුතු දෙයක් නොවන බවයි ඇන්තනි බෙරික් කියාසිටියේ.