
පසුගිය ග්‍රීෂ්ම ඍතුවට සාපේක්ෂව මෙවර දියේ ගිලී මියයාමේ ප්‍රමාණය සියයට 10කින් ඉහළ ගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා.
මුහුදු වෙරළේ ආරක්ෂාව සම්බන්ධ අධ්‍යාපනය විධිමත් කිරීම මගින් දියේ ගිලී මිය යන සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකිවනු ඇති බවයි සර්ෆ් ලයිෆ් සේවින්ග් ඔස්ට්‍රේලියා (Surf Lifesaving Australia) බලාපොරොත්තු වන්නේ.
ජල ආරක්ෂණ විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙවර ගිම්හානයේ දියේ ගිලී මිය යාමේ සංඛ්‍යාව ඉහළ යාමට හේතුවූ කරුණු අතර දුරස්ථ වෙරළ තීරයක හෝ දර්ශනීය දිය ඇල්ලක සෙල්ෆි ඡායාරුප ලබා ගැනීමට යාම, ගවේෂණය මෙන්ම දුර්වල පිහිනුම් හැකියාවන් ද පවතින බවයි.

ඔස්ට්‍රේලියාව පුරා, පසුගිය 2023 වසරේ දෙසැම්බර් 1 වනදා සිට මේ වසරේ පෙබරවාරි 29 දක්වා කාලය තුළ වෙරළ තීරයේ සහ ගංගා, තටාක සහ අනෙකුත් ජල මාර්ගවල ගිලීමෙන් පුද්ගලයන් 99 දෙනෙකුට ජීවිත අහිමි වුණා.
එය පෙර ගිම්හාන සමයට වඩා සියයට 10ක වැඩිවීමක්.

මරණවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් වෙරළ තීරයේ සිදු වූ අතර දියේ ගිලීම් 54ක් සිදුවී ඇත්තේ ආරක්ෂක නිලධාරීන්ගේ මුර සංචාර සිදුවන කලාපවලින් පිටත ප්‍රදේශවලදී යි.
අනෙකුත් දියේ ගිලී මියයෑම් සැලකිය යුතු ප්‍රමාණයක් සිදුවී ඇත්තේ දුරස්ථ ප්‍රදේශවල ඉක්මනින් උපකාර ලබාගැනීමට බොහෝ අපහසුතා පවතින ප්‍රදේශවල බව සඳහන්.
සර්ෆ් ලයිෆ් සේවිං ඔස්ට්‍රේලියා විසින් නිකුත් කරන ලද දියේ ගිලීමේ වාර්තාවට අනුව, මරණවලින් හතරෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් නත්තල් සහ අලුත් අවුරුදු අතර සතිය තුළ සිදුවී තිබෙනවා.
ස්වේච්ඡා ජීවිතාරක්ෂකයින් විසින් වෙරළබඩ ස්ථානවලින් පුද්ගලයින් 5,700කට වැඩි පිරිසක් බේරා ගැනීම ද සිදු කර තිබුණා.
දියේ ගිලීමෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර එම සංඛ්‍යාව 30ක්.
වික්ටෝරියා ප්‍රාන්තයේ 27ක් සහ ක්වීන්ස්ලන්තයේ දියේ ගිලී මියයෑම් 22ක් වාර්තා වී තිබෙනවා.
ඇතැමුන් පිහිනුම් තටාකයට නොපැමිණි හෝ පිහිනුම් හැකියාවක් නොතිබූ අය වන අතර මිය ගිය අයගෙන් හතරෙන් එකකට වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 55 සහ ඊට වැඩි වැඩිහිටියන්.
වෙරළ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ සංඥා පිළිබඳ සැලකිල්ලක් නොදැක්වීම ද මෙම මරණවලට හේතුවක් ලෙසටයි සැලකෙන්නේ.