Search

MH370 යානය සොයා යළි සෝදිසි මෙහෙයුම් අරඹන්න මැලේසියාව සූදානමින්

අතුරුදන් වූ MH370 යානය සොයා නැවත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ යුතු බව මැලේසියාව පවසනවා.

වසර 10කට පෙර යානය කඩා වැටුණු බව සැලකෙන දකුණු ඉන්දියන් සාගරයේ නව සෙවීමක් සඳහා එක්සත් ජනපද තාක්‍ෂණ සමාගමක් යෝජනා කිරීමෙන් අනතුරුවයි මැලේසියාවේ මෙම ප්‍රකාශය පැමිණ ඇත්තේ.

ගුවන් යානය අවසන් වරට තිබූ ස්ථානය සොයා ගැනීමට ඇති නව විද්‍යාත්මක සාක්ෂි ඇගයීම සඳහා තමා හමුවන ලෙස මැලේසියාවේ ප්‍රවාහන අමාත්‍යවරයා ගුවන් සමාගමට ආරාධනා කර තිබෙනවා.

එම සාක්ෂි විශ්වසනීය නම්, සෝදිසි කිරීම නැවත ආරම්භ කිරීම සඳහා ඕෂන් ඉන්ෆිනිටි සමඟ නව ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගන්නා බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ප්‍රවාහන අමාත්‍ය ඇන්තනි ලොකේ පැවසුවේ ටෙක්සාස් පදනම් කරගත් ඕෂන් ඉන්ෆිනිටි විසින් 2018 දී ප්‍රථම වරට සෙවූ ස්ථානය තවදුරටත් පුළුල් කරමින් මුහුදු පත්ල පිරික්සීමට යෝජනා කර ඇති බවයි.

මැලේසියාවේ අගනුවර වන ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා පුද්ගලයින් 239 දෙනෙකු රැගත් Boeing 777 යානය 2014 වසරේ මාර්තු 8 වනදා ගුවන් ගත වී සුළු වේලාවකින් රේඩාර් පද්ධතියෙන් අතුරුදහන් වී තිබුණා.

යානය එහි පියාසර මාර්ගයෙන් ඉවතට ගොස් දකුණු ඉන්දියන් සාගරයට කඩා වැටී ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

සුන්බුන් කැබලි කිහිපයක් නැගෙනහිර අප්‍රිකානු වෙරළ තීරයේ සහ ඉන්දියන් සාගර දූපත්වල වෙරළට ගසාගෙන ගියද මෙතෙක් කිසිදු හෝඩුවාවක් ලබා ගැනීමට හැකිවී නැහැ.