
මෙම මස අගදී ක්‍රියාත්මක කිරීමට නියමිත සමාජ ආරක්ෂණ ගෙවීම් ඉහළ නැංවීමේ වැඩසටහන හමුවේ මිලියන සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන්ගේ අදායම ඉහල යනු ඇතැයි තොරතුරු වාර්තා වී තිබෙනවා.
මාර්තු 20 වනදා සිට, විශ්‍රාම වැටුප්, ආබාධිත ආධාර සහ රැකවරණ ගෙවීම් ඉහළ නැංවීමටයි සැලසුම් කර ඇත්තේ.
ඒ යටතේ සති දෙකක් සඳහා තනි පුද්ගලයෙකුට ලැබෙන මුදල ඩොලර් 19.60කින් වැඩි වන අතර යුවළක් සඳහා සති දෙකකට ලැබෙන මුදල ඩොලර් 29.40කින් වැඩි වනවා.

ඒ අනුව විශ්‍රාම වැටුප් අතිරේකය සහ බලශක්ති අතිරේකය ද ඇතුළුව තනි පුද්ගලයෙක් සඳහා උපරිම විශ්‍රාම වැටුප් අනුපාතය ඩොලර් 1116.30ක් සහ යුවළ සඳහා ඩොලර් 1682.80ක් වන බව සඳහන් .
රැකියා සොයමින් සිටින වයස අවුරුදු 22 සහ ඊට වැඩි තරුණ පිරිසට සති දෙකකට ගෙවන මුදල ඩොලර් 13.50 කින් වැඩි වන අතර, බලශක්ති අතිරේකය ද ඇතුළුව ගෙවන මුදල ඩොලර් 771.50 දක්වා ඉහල යනු ඇති.

පොදුරාජ්‍ය මණ්ඩලීය කුලී ආධාර, රැකියා සොයන්නන්, මාපිය ගෙවීම් ඇතුලු දීමනා සියල්ල ද නව ආධාර සඳහා ලැයිස්තුගත කෙරෙනවා.
ෆෙඩරල් සමාජ සේවා ඇමති අමන්දා රිෂ්වර්ත් සඳහන් කළේ විශ්‍රාම වැටුප් ලබන්නන් යනු ප්‍රජාවන්ගේ වඩාත්ම අවදානමට ලක්විය හැකි සාමාජිකයින් අතර වන බවයි.
රජය ජීවන වියදම් පීඩනයට සහාය වීමට සහ ඔස්ට්‍රේලියානුවන්ට අවශ්‍ය අවස්ථාවල ඔවුන්ට උපකාර කිරීමට සූදානමින් සිටින බව සමාජ සේවා අමාත්‍යවරිය සඳහන් කළා.
රජයේ ප්‍රමුඛතාවය වන්නේ උද්ධමනය සහ ජීවන වියදම් පීඩනය ආමන්ත්‍රණය කිරීම වන අතර මෙමගින් දෛනික වියදම් සඳහා ගෙවීම් ලබන්නන්ට වැඩි අදායමක් ලැබෙන බව සහතික කිරීම බවයි ඇය කියාසිටියේ.