
බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුට මෙම වසරේ ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වීමට සූදානම් වන බවට තහවුරු වී තිබෙනවා.
ෆෙඩරල් රජය රාජකීයයන්ගේ සංචාරයට අදාළ සැලසුම් සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කෙරෙමින් පවතින බවයි සඳහන් වන්නේ.
මේ වසර අවසානයේ චාල්ස් රජු සහ කැමිලා රැජිනගේ රාජකීය සංචාරය සැලසුම් කර තිබුණ ද රජුගේ රෝග තත්වය හමුවේ මෙම සංචාරයේ අවිනිශ්චිත බවක් ද මතුවී තිබෙනවා.

ෆෙඩරල් රජය චාල්ස් රජු සහ කැමිලා රැජිනට සංචාරය කළ හැකි දින සහ ස්ථාන පිළිබඳව ප්‍රාන්ත සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි සඳහන්.
පසුගියදා අගමැති ඇන්තනි ඇල්බනීස් තහවුරු කළේ බ්‍රිතාන්‍ය රජු ඔස්ට්‍රේලියාවේ සංචාරයක් සැලසුම් කර ඇති බවයි.

එය ලබන ඔක්තෝම්බර් මාසයේදී සැමෝවාහි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙනු ඇති බවටයි විශ්වාස කෙරුණේ.
එහෙත් රජුගේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර හමුවේ සංචාරයේ නිශ්චිත දින වකවානු පිළිබඳ ගැටළුවක් පවතින අතර ඔහු ඇතැම් පොදු රාජකාරිවලින් ඉවත් වී තිබෙනවා.
සංචාරය නිශ්චිත නොවුන ද ඊට අදාළව ගමන් මාර්ගයක් පිළිබඳ යෝජනා ලබා ගැනීම ඇතුළුව රජය පූර්ව සූදානමක් ආරම්භ කර තිබෙනවා.
දෙවන එලිසබෙත් මහ රැජින 2011 වසරේදී කැන්බරා, බ්‍රිස්බේන්, මෙල්බර්න් සහ පර්ත් යන නගරවල සංචාරය කිරීමෙන් පසු ගතවූ වසර 10කට වැඩි කාලයක් තුළ බ්‍රිතාන්‍ය රජෙකුගේ පළමු ඔස්ට්‍රේලියා සංචාරය මෙය වනු ඇති.
කිරුළ දැරීමට පෙර චාල්ස් කුමරු ඔස්ට්‍රේලියාවේ නිල සංචාර 15ක් පමණ සිදු කර ඇති අතර ඔහුගේ ආසන්නතම සංචාරය වූයේ 2018 වසරේ ගෝල්ඩ් කෝස්ට් හි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල විවෘත කිරීම සහ උතුරු ප්‍රදේශය නැරඹීමයි.
දෙවන එලිසබෙත් මහ රැජින ද ඔස්ට්‍රේලියාවට 16 වතාවක් සංචාරය කර තිබෙනවා.