
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වනගත ප්‍රදේශයක දින 3ක් අතරමංව සිටි පුද්ගලයන් තුන් දෙනෙකු බේරා ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා.
සෞඛ්‍ය තත්වය දුර්වල වූ මැදිවියේ පුද්ගලයෙක් ඇතුළු තිදෙනා වෛද්‍ය නිරීක්ෂණයෙන් පසුව මවුන්ට් ඊසා රෝහලට ගුවනින් ගෙන ගොස් ඇතැයි සඳහන්.
දින තුනක් ආහාර හෝ ජලය නොමැතිව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලඳු කැලෑවක ඔවුන් අතරමං වී ඇත්තේ උතුරු ප්‍රදේශයේ මායිමට ඔබ්බෙන් පිහිටි ආදිවාසී ප්‍රජාවක් වෙත ගමන් කරමින් සිටියදී යි.

අතරමග දී ඔවුන්ගේ මෝටර් රථය ක්‍රියා විරහිත වීම හේතුවෙන් ඒ පිළිබඳ දැනුම් දීමට දුරකථන සංඥා ඇති ස්ථානයක් සොයා යමින් සිටියදී මාර්ගය සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.
මෙම පිරිස නියමිත දිනයේ නිවසට නොපැමිණීම හේතුවෙන් පවුලේ සාමාජිකයන් ආරක්ෂක අංශ වෙත කළ දැනුම්දීමකට අනුවයි පසුව සෙවීමේ මෙහෙයුම් ආරම්භවී ඇත්තේ.

ජංගම දුරකථන සංඥා ආවරණය කලාපයක් නොවීම හේතුවෙන් ඔවුන් කිලෝමීටර් 24ක් පමණ පා ගමනින් ගොස් ඇමතුමක් ලබා ගැනීමට සමත්වී තිබුණා.
බලධාරීන් ඒ වන විටත් හෙලිකොප්ටර් සහ සැහැල්ලු ගුවන් යානා මගින් මෙම තිදෙනා සොයා පැය 24ක් පුරා සෝදිසි කර තිබූ බව සඳහන්.
ක්වීන්ස්ලන්ත පොලිස් සේවය පවසන්නේ මෙවැනි දුෂ්කර මාර්ග අනතුරුදායක වන අතර පැවති වැසි තත්වයෙන් පසු ඒවා භාවිත කිරීමට නොහැකි තත්වයක පවතින බවයි.
මාර්ගවල තත්ත්වය අනුව මෙම පුද්ගලයන් එහි ගමන් කිරීම ගැන තමා කම්පනයට පත් වූ බව මවුන්ට් ඊසා කලාපයේ නියෝජ්‍ය ආපදා කළමනාකරණ සම්බන්ධීකාරක ඇඩම් කිං ප්‍රකාශ කළා.