
මාසයක් වයසැති කුඩා බිළිඳෙකු මවගේ අතින් ලිස්සා ගොස් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල ගුරුමැටිය ප්‍රදේශයේදී වැටී සිටියදී පොලීසියට හමුව තිබෙනවා.
මීගමුව ප්‍රදේශයේ සිට ත්‍රීරෝද රථ දෙකකින් පවුල් දෙකක සාමාජිකයන් පිරිසක් කතරගම හරහා නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරතව සිට නැවත මීගමුව බලා යමින් සිටියදී එක් ත්‍රී රෝද රථයක සිටි බිළිඳෙකු මවගේ අතින් ලිස්සා ගොස් මාර්ගයට වැටී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
එම අවස්ථාවේදි බිළිඳාගේ මවට නින්ද ගොස් තිබෙන්නට ඇති බවට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

ත්‍රිරෝද රථයට පසුපසින් ගමන් කරමින් තිබු මෝටර් රථයක් බදාදා රාත්‍රියේ සිදුව ඇති මෙම සිදුවීම දැක නැවත හරවාගෙන පැමිණ පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
අනතුරුව එම මෝටර් රථයේ සිටි පුද්ගලයන් විසින් කුඩා බිළිඳා කිතුල්ගල පොලිසිය වෙත රැගෙන ගොස් ඇති අතර පොලිසිය විසින් බිළිඳා කඩිනමින් කිතුල්ගල රෝහලට ඇතුලත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දරුවා නොමැති බව දැනගත් ත්‍රිරෝද රථයේ ගමන් කළ පිරිස නැවත පැමිණ මාර්ගය සෝදිසි කරමින් සිටියදී දරුවා රෝහල්ගත කර ඇති බව වාර්තා වී තිබෙනවා.
පසුව ඔවුන් කඩිනමින් රෝහල වෙත පැමිණ ඇති අතර අනතුරුව මව සමග බිළිඳා කරවනැල්ල රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණවළදී අනාවරණය වී ඇත්තේ දරුවා නිරුපද්‍රිතව සිටින බවයි.