ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැතිවරයෙකු වන ස්කොට් මොරිසන් පාර්ලිමේන්තුවේ තම අවසන් කතාව තුළින් Taylor Swiftගේ ගීතයක කොටසක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට සමුදී තිබෙනවා.
ස්කොට් මොරිසන්ගේ දියණියගේ ඉල්ලීමකට අනුව අයි කැන් ඇෂුවර් යූ දෙයාර් ඉස් නෝ බෑඩ් බ්ලඩ් ( I can assure you there is no bad blood) ගීතයේ කොටසක් මෙලෙස ගායනා කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු සිය වසර 16ක දේශපාලන දිවියට ඉදිරියේදී සමු දෙන බව එහිදි සනිටුහන් කර ඇති අතර තමන් දේශපාලන දිවියට සමුදෙන්නේ පරාජයෙකු ලෙස නොවන බවත් එහිදී අවධාරණය කර තිබෙනවා.
තම දේශපාලන දිවිය තුළ සම්පූර්ණ ජවය යෙදවූ බවත් ඒ බව සනාථ කිරීමට ඕනෑ තරම් සාක්ෂි තමා සතුව ඇති බවද හිටපු අගමැතිවරයා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියා.
තම කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ඇතුලු සියලු දෙනාට ද වත්මන් අගමැති ඇන්තනි ඇල්බනීස් වෙත ද උපහාර දැක්වීමට ද ස්කොට් මොරිසන් අමතක කළේ නැහැ.
ඔස්ට්‍රේලියාවේ 30 වැනි අගමැතිවරයා වශයෙන් අවසන් වරට කටයුතු කල ඔහු Covid 19 වසංගතය අතරතුර සේවය කළ රාජ්‍ය සේවකයින්ට උපහාර දැක්වීමක් ද මෙහිදි සිදු කර තිබෙනවා.
මීට අමතරව 2022 මැතිවරණයේදී ටස්මේනියාවේ රිය අනතුරින් තුවාල ලැබූ ඔහුගේ ආරක්ෂක කණ්ඩායමට ද ඔහු උපහාර දක්වා ඇතැයි සඳහන්.
පාර්ලිමේන්තුවේ අවසන් කතාවට එක්වෙමින් මෙරට ආර්ථිකය ප්‍රතිසංවිධානය නොකරන ලෙසට අනතුරු ඇඟවීමක් ද ස්කොට් මොරිසන් විසින් ඉදිරිපත් කර තිබුණා.
මීට අමතරව චීනය සහ උපායමාර්ගික තරඟකාරිත්වය පිළිබඳ අනතුරු ඇඟවීමක්ද එක් කළ අතර ඔහුගේ අවසන් පාර්ලිමේන්තු රැස්වීම නැරඹීම සදහා පවුලේ සමාජිකයින්ද එක්ව තිබුණා.
ඒ අනුවයි තම දියණියගේ ඉල්ලීමට ඔහු Taylor Swift ගේ ගීතයක කොටසක් ගයමින් සිය පාර්ලිමේන්තු ගමන අවසන් කර ඇත්තේ.