
ඉතා පැණි රසැති, රෝස පැහැති රසකැවිල්ලක් වන බොම්බයි මොටයි (cotton candy) විකිණීම ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක තහනම් කර තිබෙනවා.
බොම්බයි මොටයි සාම්පල පරීක්ෂාවකින් අනතුරුව ඒවාහි රොඩමයින්-බී නම් පිළිකාකාරක ද්‍රව්‍යක් අඩංගු බව තහවුරු වීමෙන් පසු පසුගිය සතියේ තමිල්නාඩු ප්‍රාන්තය තුළ මෙම තහනම පනවා ඇත්තේ.
මේ මස මුලදී, ඉන්දියාවේ පුදුච්චෙරි ප්‍රදේශය තුළ ද බොම්බයි මොටයි තහනම පැනවූ අතර මේ වන විට ඉන්දියාවේ සෙසු ප්‍රාන්තද මෙම රසකැවිල්ලේ සාම්පල පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

ඉන්දියාවේ, බුඩ්ඩි-කා-බාල් නොහොත් මැහැල්ලගේ කෙස්වැටිය ලෙසින් ද හැඳින්වෙන මෙම ආහාරය ළමුන් අතර ප්‍රකට රසකැවිල්ලක් වීම විශේෂත්වයක්.
කෙසේවෙතත්, මෙම ආහාරය හිතනවාට වඩා ශරීරයට අහිතකර විය හැකි බවයි ඉන්දීය බලධාරීන් පෙන්වා දෙන්නේ.

ඉන්දියාව පමණක් නොව ලෝකයේ සෑම රටකම කුඩා ළමුන් අතර වඩාත් ජනප්‍රිය අතුරුපසක් වන බොම්බයි මොටයි විනෝද උද්‍යාන, ප්‍රදර්ශන සහ ළමයින් ගැවසෙන විනෝද ස්ථානවල අලෙවි කරන ප්‍රධාන අංගයක් බවට පත්ව තිබෙනවා.
ඉදිරියේ දී සමස්ථ ඉන්දියාව පුරාම මෙම තහනම පනවනු ඇතැයි සඳහන් වන අතර දෙමාපියන් තම දරුවන් ගැන සැළකිලිමත් වීමේ වැදගත්කම ද අවධාරණය කර තිබෙනවා.