කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.
බදු ගෙවීම පැහැර හැරීම, ප්‍රමිතියෙන් තොර හෝ ව්‍යාජ ඖෂධ අලෙවි කිරීම, නොසැලකිලිමත්කම, ව්‍යාජ ලෙස සකස් කිරීම සහ අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් වරදකරුවන් වී ඇති බවයි වාර්තා වන්නේ.
විත්තිකරුවන්ට ලැබුණු සිර දඬුවම් වසර දෙකේ සිට වසර 20ක් දක්වා වන බව සඳහන්.
මාස හයක නඩු විභාගය ආරම්භයේදී මරණ 65ක් පමණ වාර්තා වී තිබූ අතර, පසුගිය මාසයේ ඊට තවත් සිදුවීම් තුනක් එක්වී තිබෙනවා.
මෙම කැස්ස සිරප් වර්ගය ඉන්දියාවේ මාරියොන් බයෝටෙක් (Marion Biotech) සමාගම විසින් නිෂ්පාදනය කරන ලද අතර උස්බෙකිස්තානයේ කියුරාමැක්ස් මෙඩිකල් (Quramax Medical) විසින් බෙදාහරිනු ලැබ තිබුණා.
සැකකරුවන් අතරින් වසර 20ක දීර්ඝතම සිරදඬුවම් නියම වූයේ බෙදා හරිනු ලැබූ සමාගමේ විධායක අධ්‍යක්ෂවරයෙකුටයි.
උස්බෙකිස්තාන් ළමුන් 18 දෙනෙකු කැස්ස සිරප් පානය කර මිය යාමෙන් පසු පසුගිය ජනවාරි මාසයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ ඉන්දීය සමාගමේ කැස්ස සිරප් වර්ග දෙකක් ප්‍රමිතියෙන් තොර බවයි.
ඉන්පසුව එම නිෂ්පාදනය ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අත්හිටුවන ලද අතර, සමාගමේ බලපත්‍රය ද උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ආහාර සුරක්ෂිතතා දෙපාර්තමේන්තුව විසින් අත්හිටුවා තිබෙනවා.
මියගිය ළමුන් 68 දෙනාගේ පවුල්වලට ඩොලර් 80,000ක් බැගින් වන්දි වශයෙන් හිමිවන බව අධිකරණය තීරණය දැනුම් දී තිබෙනවා.