Search

ශ්‍රී ලංකාවේ තැඹිලි ගෙඩියකට රුපියල් 2000ක මුදලක් දෙන්න අලුත් වැඩසටහනක්

අපනයනයට ලබා ගන්නා ශ්‍රී ලංකාවේ තැඹිලි ගෙඩියකට රුපියල් 2000ක් බැගින් ලබාදීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මුරුතවෙල, රළුව ගම්මානයේ ඉදිකළ දෙවන තැඹිලි වගා ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

තැඹිලි අපනයනය සඳහා වගා කිරීමේ පළමු ගම්මානය පහළ මුරුතවෙලින් පසුගිය වසරේ දී ආරම්භ වූ අතර මෙම ගම්මාන දෙක තුළ තැඹිලි පැළ 10,000ක් රෝපණය කිරීමට නියමිතයි.

2022 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සතිපතා තැඹිලි 252,000කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කිරීමෙන් රුපියල් බිලියන 2ක පමණ ලාභයක් උපයා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ තැඹිලි සඳහා ලෝකයේ වෙනත් කිසිදු රටකින් තරගයක් නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දැන් තරගය ඇත්තේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් අතර පමණක් බවයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ තැඹිලි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාල ඉල්ලුමක් පවතින අතර තවත් රටවල් ගණනාවකින් තැඹිලි සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බව අනාවරණ වී තිබෙනවා.

තැඹිලි ශ්‍රී ලංකාවට ආවේණික ශාඛයක් වන අතර රටවල් ගණනාවක් තැඹිලි වගා කිරීමට උත්සාහ කළ ද ශ්‍රී ලංකාවේ තැඹිලි තරම් උසස් රසයක් නොමැතිවීම නිසා එම උත්සාහයන් අසාර්ථක වී ඇතැයි සඳහන්.

මෙම තත්ත්වයෙන් උපරිම ඵල නෙළා ගැනීම සඳහා තැඹිලි වැවිලි බෝගයක් ලෙස වගා කිරීමට මුරුතවෙල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් ඒ සඳහා යොදා ගෙන තිබෙනවා.

අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ වසරකට තැඹිලි කන්ටේනර් 200ක් ඩුබායි වෙළෙඳපොළට අපනයනය කරන බවයි.

දැනට තැඹිලි අපනයනයෙන් එක් ගෙඩියකට ලැබෙන්නේ රුපියල් 1,000ක් වැනි අඩු මුදලක් වන අතර එය රුපියල් 2,000ක මට්ටමෙන් පවත්වාගෙන යාමට අපනයනකරුවන් එකඟතාවය පළ කළ බව ද ඔහු කියාසිටියා.

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝගය තැඹිලි බවට පත්වීම ඒකාන්ත බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.