
දින හතරක වැඩ සතියක් වෙනුවෙන් ලොව විශාලතම අත්හදා බැලීම අවසන් වී වසරකට පසුව ද ඊට සහභාගී වූ සමාගම්වලින් බහුතරයක් තවමත් සේවකයින්ට කෙටි සතියක් වැඩ කිරීමට ඉඩ ලබාදී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
සමීක්ෂණයට එක් වූ සමාගම්වලින් භාගයකටත් වඩා වැඩි ප්‍රමාණයක් නව වෙනස ස්ථිර කර ඇති බව සඳහන්.
2022 වසරේ ජූනි සහ දෙසැම්බර් අතර මාස හයක් පුරා, එක්සත් රාජධානියේ ආයතන 61ක කම්කරුවන් ඔවුන්ගේ සාමාන්‍ය වැඩ කරන පැයවලින් සියයට 80ක් පමණක් සතියකට දින 4ක් එම වැටුපටම සේවා කටයුතුවල නිරත වුණා.

2023 වසර අවසානය වන විට ද එම සමාගම්වලින් අවම වශයෙන් සියයට 89ක් තවමත් අදාළ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
එක් සමීක්ෂණ වාර්තාවකට අනුව අවම වශයෙන් සමාගම් සියයට 51ක් දින හතරේ සතිය ස්ථිර කර ඇතැයි සඳහන්.

කේම්බ්‍රිජ් සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල පර්යේෂකයන් සමඟ සහයෝගීතාවයෙන් දින 4ක වැඩ සතියක් ව්‍යාපාරය ක්‍රියාත්මක කළ එක්සත් රාජධානියේ ඔටෝනොමි විසින් මෙම අධ්‍යයන වාර්තාව නිකුත් කර තිබෙනවා.
වැඩ කරන පැය ගණන අඩු කිරීම කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ සමාගම්වලට අතිශයින් ප්‍රයෝජනවත් වී ඇති බව වාර්තාවේ දැක්වෙනවා.
කොවිඩ් වසංගතය අතරතුර මිලියන ගණනක් වූ සේවකයින් දුරස්ථ සේවයට මාරුවීම, ගමනාගමන අපහසුව මෙන්ම කාලය සහ මුදල් ඉතිරි කර ගැනීම හමුවේ වැඩ කරන සතිය කෙටි කිරීම සඳහා වන ඉල්ලීම් ඉහළ යමින් ඇති බවයි සඳහන් වන්නේ.
2022 වසරේ අත්හදා බැලීම සඳහා සහභාගී වූ ආයතන 61න් අඩකට ආසන්න ප්‍රමාණයක් අලෙවිකරණය සහ ප්‍රචාරණය, වෘත්තීය සේවා සහ ලාභ නොලබන අංශයේ වනවා.
ඉතිරිය ඉදිකිරීම්, නිෂ්පාදන, සිල්ලර, සෞඛ්‍ය සේවා, කලා සහ විනෝදාස්වාදය ඇතුළු කර්මාන්තවලට අයත් වුණා.