
බහාලුමක් තුළ සැඟවී මැලේසියාවට පළා යෑමට උත්සාහ කිරීමේදී චීනයේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා එරටින් පිටුවහල් කර තිබෙනවා.
ඔවුන් ඊයේ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
2023 වසරේ ජනවාරි මස 30 වනදා අදාළ පුද්ගලයන් දෙදෙනා කොළඹ වරායේ නවතා තිබූ “මර්ක්ස් යුනිකෝන් ” නැවේ තිබූ හිස් බහාලුමක් තුළට රහසිගතව ඇතුළු වී ඇත්තේ මැලේසියාව බලා පිටත්ව යාම සඳහායි.

නැව මැලේසියාවට පැමිණි අවස්ථාවේ එම බහාලුම තුළ සැඟවී සිටි අවුරුදු 26 සහ 39 වයස්වල පසුවන ශ්‍රී ලාංකිකයන් දෙදෙනා භාරගැනීම ප්‍රතික්ෂේප වීම හමුවේ නෞකාවේ බලධාරීන් ඔවුන් රැගෙන තවත් රටවල් ගණනාවකට යෑමෙන් පසු අවසාන වශයෙන් චීනය වෙත පැමිණ තිබුණා.
එහිදීයි චීන බලධාරීන් විසින් මෙම ලාංකිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

වසරක පමණ කාලයක් චීන ආරක්ෂක අංශ භාරයේ පසුවූ ඔවුන් පිටුවහල් කිරීමෙන් පසු ෂැංහයි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත යවා තිබුණා.
එහි ළඟා වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.