
ටේලර් ස්විෆ්ට්ගේ සිඩ්නි නුවර පළමු ප්‍රසංගයට යන අතරතුර ලැබුණු දුරකථන ඇමතුමකින් ජීවිතය වෙනස් වූ කාන්තාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.
බොහෝ ටේලර් ස්විෆ්ට් රසිකයන්ට මෙවර ප්‍රසංග මාලාවට ප්‍රවේශ පත්‍රයක් හිමි වීම කිසිසේත්ම අතපසු කළ නොහැකි අවස්ථාවක් ලෙසටයි සැලකෙන්නේ.
නමුත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කාන්තාවක් වූ තමරා ග්‍රේ පළමු සිඩ්නි ප්‍රසංගයට යන අතරමගදී ලැබුණු ජීවිතය වෙනස් කළ දුරකථන ඇමතුම හේතුවෙන් ප්‍රසංගය නැරඹීම අත්හැර දැමීමට තීරණය කර තිබෙනවා.

රෝහලෙන් පැමිණි එම ඇමතුමෙන් ප්‍රකාශ වී ඇත්තේ මෙම කාන්තාවට ගැලපෙන වකුගඩුවක් ලැබී ඇති බවටයි.
35 හැවිරිදි ඇය වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක් සඳහා පොරොත්තු ලේඛනයක සිට ඇති අතර, ඇය සිඩ්නි වෙත ගමන් කිරීම සඳහා ගෝල්ඩ් කෝස්ට් ගුවන් තොටුපළට යන අවස්ථාවේදී යි මෙම පරිත්‍යාගය පිළිබඳ ඇමතුම ලැබී ඇත්තේ.

මෙවැනි අවස්ථාවක් පැමිණෙනු ඇතැයි කිසි විටෙකත් අපේක්ෂා නොකළ තමා ඊට එකහෙළාම එකඟ වූ බව ඇය සඳහන් කළා.
සිඩ්නි දක්වා ගමන් කිරීමට ගුවන් යානයේ අසුන්ගෙන සිටියේ නම් රෝහලින් ලැබුණු මෙම ඇමතුම ඇයට මඟ හැරෙනු ඇති අතර පොරොත්තු ලේඛණයේ සිටින ඊළඟ අපේක්ෂකයාට එය හිමි වනු ඇති.
සැත්කමට ලක්වූ කාන්තාව මේවන විට සුවය ලබමින් සිටින අතර යුරෝපයේ හෝ වෙනත් ස්ථානයක පැවැත්වෙන ටේලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයකට යාා හැකි බවට ඇයගේ මිතුරු මිතුරියන් ප්‍රකාශ කර තිබෙනවා.