Taylor Swiftගේ මෙල්බන් ප්‍රසංගවලට ගිය අයට අනතුරු ඇඟවීමක්

ටේලර් ස්විෆ්ට්ගේ ප්‍රසංග සංචාර සංවිධානය කරනු ලබන සමාගම මගින් වත්මන් ඔස්ට්‍රේලියා සංචාරයේ බෙදා හරින අත් පළඳනාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙනවා.

එම පළඳනා ලක්ෂ ගණනක් බෙදා හැර ඇති අතර එහි අඩංගු කුඩා බැටරි පිළිබඳ පවතින අවදානම සම්බන්ධයෙන් රසිකයන් දහස් ගණනකට ස්විෆ්ට්ගේ ප්‍රසංග සමාගම මගින් අනතුරු ඇඟවීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

2015 වසරේ දී මෙවැනි කුඩා බැටරියක් ශරීරගත වීමෙන් මිය ගිය මෙල්බර්න් හි සිටින දරුවෙකුගේ මව මෙම සංචාරයේදී ලබා දෙන අත් පළඳනා ඔස්ට්‍රේලියාවේ ප්‍රමිතීන්ට අනුකූල නොවන බවට චෝදනා කිරීමෙන් අනතුරුව මෙම කතා බහ මතුවී තිබෙනවා.

මාස 14ක් වූ අදාළ කුඩා දරුවා කුඩා ලිතියම් බැටරියක් ගිල දැමීම හේතුවෙන් ජීවිතය අහිමි වී තිබුණා.

එමෙන්ම තවත් ඔස්ට්‍රේලියානු ළමුන් තිදෙනෙකු මෙවැනි බැටරි ශරීරගත වීමෙන් මිය ගොස් ඇති බවයි සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

මෙවර ටේලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගවලට පැමිණෙන රසිකයන්ට ලබා දෙන පළඳනාව ද නව ප්‍රමිතීන්ට අනුකූල නොවන අතර එහි කුඩා බැටරියක් අඩංගු බවට කිසිදු අනතුරු ඇඟවීමක් නොමැති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

ප්‍රසංගයට සහභාගිවන සෑම අයෙකුටම ලැබෙන බැටරි දෙකක් අඩංගු LED රිස්ට්බෑන්ඩ් මගින් ප්‍රසංගයේදී ක්‍රීඩාංගනය වටා දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණය කිරීමට සක්‍රිය කළ හැකියි.

ප්‍රසංග සංවිධාන සමාගම මෙන්ම වික්ටෝරියා පාරිභෝගික අධිකාරිය මෙම බැටරිවලට පහසුවෙන් ප්‍රවේශ විය හැකි බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන අතර එම බැටරි ඉවත් කර ගැනීමට ඉස්කුරුප්පු නියනක් හෝ වෙනත් මෙවලම් අවශ්‍ය වන බවයි ප්‍රකාශ කළේ.

එල්ල වූ මෙම චෝදනා සමග ෆ්‍රොන්ටියර් ටුවරින් සමාගම විසින් මෙල්බර්න් ප්‍රසංගවලට සහභාගී වූ 288,000ක පමණ පිරිසක් සම්බන්ධ කරගනිමින් අත් පළඳනාවේ බැටරි සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබෙනවා.

මෙල්බර්න් සංදර්ශනවලට සහභාගි වී සිහිවටනයක් ලෙස තම LED රිස්ට්බෑන්ඩ් නිවසට ගෙන ගිය අයට සමාගම දැනුම් දී ඇත්තේ එහි කුඩා බැටරි අඩංගු වන අතර ළමයින්ට ළඟාවිය නොහැකි ලෙස තබා ගත යුතු බවයි.

කුඩා බැටරි අනතුරුදායක වන අතර එය ගිල දැමුවහොත් පැය දෙකකින් හෝ ඊට අඩු කාලයකදී මාරාන්තික විය හැකි බව ද අනතුරු ඇඟවීමේ සඳහන්.

බැටරිය ගිලී ඇති බවට සැකයක් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බව ද දැනුම් දී තිබෙනවා.

මේ අතර මේ වන විට සිඩ්නි හිදී පැවැත්වෙන ටේලර් ස්විෆ්ට් ගේ ප්‍රසංග හතරට රසික රසිකාවියන් 320,000ක පමණ පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂිතයි.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »