
කුමන ආකාරයේ අයහපත් කාලගුණික තත්ත්වයක් පැවතිය ද ටේලර් ස්විෆ්ට්ගේ සිඩ්නි නුවර ප්‍රසංග මාලාව සැලසුම් කළ ආකාරයෙන් පැවැත්වෙන බව එහි සංවිධායකයන් පවසනවා.
Taylor Swift ගේ ඔස්ට්‍රේලියානු සංචාරයේ ඊරාස් ටුවර් (Eras Tour) හි අවසන් ප්‍රසංග මාලාව මෙම සති අන්තයේ Sydney හිදී පැවැත්වෙන අතර රසික රසිකාවියන්ගෙන් ක්‍රීඩාංගණය පිරී ඉතිරී යනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
ප්‍රවේශපත්‍ර ලබා ගෙන ඇති රසිකයන්ට ප්‍රසංග භූමියට පිවිසීමේ දී දැඩි නීති මාලාවක් අනුගමනය කළ යුතු වනවා.

සිඩ්නි නුවර අද ආරම්භ වන ප්‍රසංගය හමුවේ මගී ඉල්ලුමට සරිලන ආකාරයෙන් පොදු ප්‍රවාහනයට අමතර සේවාවන් ද එක් කර ඇති බව සඳහන්.
ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට තරම් වාසනාවන්ත වූ රසිකයන්ට සංවිධායකයන් දැනුම් දී ඇත්තේ ප්‍රසංගය පස්වරු 6.20ට ආරම්භ කරන අතර ක්‍රීඩාංගණයේ ගේට්ටු පස්වරු 4.30 සිට විවෘත බවයි.

ආසන වෙන් කර තිබීම හේතුවෙන් කලින් පැමිණීමට අවශ්‍ය නොවන අතර අයහපත් කාලගුණයක් පැවතිය ද නියමිත ආකාරයෙන් ප්‍රසංගය පැවැත්වෙන බවයි සංවිධායකයන් කියාසිටියේ.
ප්‍රසංගයට භූමියට කුඩ ගෙන ඒමට අවසර නොමැති අතර වැහි කබා රැගෙන ඒමට අවස්ථාව ලබාදී තිබෙනවා.
අද පස්වරුවේ සිඩ්නි නුවර ආසන්න ප්‍රදේශවලට වැසි ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින අතර සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි මෙන්ම තද සුළං ද පවතිනු ඇති බවටයි කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ.