වික්ටෝරියා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේ බැලරට් නගරයට බටහිර දෙසින් පාලනයෙන් තොරව ලැව්ගිනි ඇවිළෙන බැවින් වහාම ඉවත් වන ලෙස ජනතාවට විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
අධික උෂ්ණත්වය සහ තද සුළං හමුවේ ගින්න පැතිර යමින් පවතින බවයි වාර්තා වන්නේ.
ගින්න මේ වන විට පිරනීස් කඳුවැටියේ, බයින්ඩීන් රොකී මාර්ගයේ බැලරත් සහ අරරත් අතර ඇවිලෙමින් පවතින බව සඳහන්.
Ballyrogan, Bayindeen, Beaufort, Buangor, Buangor East, Challicum, Cross Roads, Eurambeen, Lake Goldsmith, Langi Kal Kal, Main Lead, Middl Creek, Mount Cole, Nerring, Raglan, Shirley යන ප්‍රදේශවල ප්‍රජාවන් සඳහා ප්‍රාන්ත රජය හදිසි අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.
තත්වය ඉතා භයානක වීමට පෙර ගින්නෙන් බේරීම සඳහා බැලරට් දෙසට යන ලෙසටයි බලධාරීන් නිවැසියන්ගෙන් ඉල්ලා සිටියේ.
නිවෙස්වල රැඳී සිටීමට තීරණය කරන්නේ නම් එම පුද්ගලයන්ට සහාය වීමට හදිසි සේවාවලට නොහැකි වනු ඇති බව අනතුරු ඇඟවීමෙන් අවධාරණය කර තිබෙනවා.
Learmonth හි Learmonth පාපන්දු පිටියේ සහන මධ්‍යස්ථානයක් පිහිටුවා ඇතැයි සඳහන්.
මීට සතියකට පෙර පොමොනල් නගරයේ නිවාස සහ ව්‍යාපාරවලින් අඩක් පමණ විනාශ කළ විනාශකාරී ගින්න සිදු වූ ප්‍රදේශය සහ මේ වන විට ලැව්ගින්න හටගෙන ඇති ප්‍රදේශය අතර ඇත්තේ කිලෝමීටර් 60ක් පමණ දුරක් පමණයි.
ගින්නට ඉදිරියෙන් ඇති දේපළ සහ ගොවිපළවල් බේරා ගැනීමට ගිනි නිවන භටයින් කටයුතු කරමින් සිටින බව සඳහන්.
මෙම ගින්න වාර්තා වන්නේ මෙල්බන්හි උෂ්ණත්වය අංශක 38ක් දක්වා ඉහළ යනු ඇතැයි අනාවැකි පළ කර ඇති සහ ප්‍රාන්තයේ සෙසු ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් දක්වා ළඟා වී ඇති අවස්ථාවකයි.
දරුණු ලැව් අවදානමකට මුහුණ දී සිටින වික්ටෝරියානු පළාත් පාලන ප්‍රදේශ 31 හි පාසල් සිසුන් තාවකාලිකව වෙනත් ස්ථාන වෙත යොමු කර තිබෙනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් ලැව්ගිනි ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති අතර පසුගිය සතියේ කුණාටු හේතුවෙන් විනාශ වූ දේපළ මෙම ගින්නෙන් තවත් විනාශ විය හැකි බවටයි බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.