
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කේප් යෝර්ක් අර්ධද්වීපයේ දී සංචාරකයන් දෙදෙනෙකුට Google Maps දෝෂයක් හේතුවෙන් මෝටර් රථය දමා කිලෝමීටර් 60ක් පමණ පා ගමනින් යාමට සිදුවීමේ පුවතක් වාර්තා වනවා.
ජර්මානු සංචාරකයින් දෙදෙනෙකු පසුගිය 4 වනදා ෆෝ වීල් වර්ගයේ ජීප් රථයකින් කේර්න්ස් නගරයෙන් පිටත් වී තිබුණේ කේප් යෝර්ක් හරහා ගමන් කිරීමටයි.
ගූගල් සිතියම් ඔස්සේ මාර්ගය සොයා ගමන් කළ ඔවුන් දෙදෙනාට කේප් යෝර්ක් හි දුරස්ථ ප්‍රදේශයකදී වාහනයෙන් ගමන් කිරීමට නොහැකි ආකාරයෙන් අතරමං වී තිබෙනවා.

පාළු ප්‍රදේශයේ දින කිහිපයක් මෙම තරුණයන් දෙදෙනා ඇවිද ගොස් ඇති අතර ජීවත් වීමට ඔවුන් වාසනාවන්ත වූ බවයි ක්වීන්ස්ලන්ඩ් උද්‍යාන සහ වනජීවී සේවා කණ්ඩායම් සඳහන් කර ඇත්තේ.
සංචාරකයන් දෙදෙනා Google Maps හි උපදෙස් අනුගමනය කරමින් ගමන් කර ඇති අතර ඔයලාතුමොටැන්ග් (Oyala Thumotang) ජාතික වනෝද්‍යානයට ඇතුළු වීමට ඔවුන්ට පෙන්වා දී ඇත්තේ ඉතා පැරණි අබලන් වූ මාර්ගයක්.

පෙබරවාරි 6 වනදා ඔවුන්ගේ වාහනයේ දෝෂයක් හටගත් අතර කිසිදු දුරකථන සේවා සබඳතාවක් නොමැතිව ඔවුන් අතරමං වී තිබෙනවා.
මෙම සංචාරකයන් දෙදෙනා සතියක පමණ කාලයක් කඳවුරු බැඳගෙන සිට ආචර් ගඟ දක්වා ගමන් කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා ද දින කිහිපයක් ගත වී ඇතැයි සඳහන්.
ඔවුන් මුලින් ආචර් ගඟට යාමට උත්සාහ කළේ එය සමීප වූ නිසා නමුත් ඔවුන් ගඟට ළඟා වන විට ජලය තරණය කිරීමට නොහැකි තරම් ඉහළ මට්ටමක පැවති බව සඳහන්.
එහිදී ඔවුන්ට කිඹුලෙකු, සර්පයන්, මකුළුවන්, කැලෑ ගවයන් මෙන්ම වල් ඌරන් වැනි සතුන් හමුවේ ද පිඩාවන්ට ලක්ව තිබෙනවා.
මෝටර් රථය අත්හැරීමට තීරණය කර උදෑසන කාලයේ ඇවිද ගිය ඔවුන් දිවා කාලයේ උණුසුම අතරතුර නතර වී රාත්‍රිය වන තෙක් යළි ගමන් කර තිබුණා.
ඔවුන් පැය 22ක් පමණ වර්ෂාව මැද ඇවිද ගිය අතර ඩ්‍රෝන යානයක් භාවිතා කරමින් අසල මාර්ග සොයා ගිය බවත් ප්‍රකාශ කළා.
සංචාරකයන් දෙදෙනා කියාසිටියේ මෙය සතුටුදායක අවසානයක් වුව ද ගතවූයේ ඉතා දුෂ්කර දින කිහිපයක් බවයි.