Search

ඔස්ට්‍රේලියාවේදී අමතර මුදලක් උපයන්න රැකියා සොයනවා නම් මේ ගැනත් අවධානයෙන්

ඔස්ට්‍රේලියාවේ, වැඩි ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් සිදු කරන ආයෝජන අවස්ථා සහ නිවසේ සිට වැඩ කළ හැකි බවට වන රැකියා දැන්වීම් පිළිබඳ නව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මේ හරහා මුදල් විශුද්ධිකරණයට පුද්ගලයින් යොදාගැනීම සිදුවන බවයි වාර්තා වන්නේ.

සංවිධානාත්මක අපරාධ ජාල මගින්, මේ ආකාරයට මුදල් විශුද්ධිකරන ක්‍රියාවලියේ අතරමැදියන් ලෙස අන්තර්ජාතික සිසුන් යොදාගැනීම සිදුකරන බව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ මූල්‍ය ආයතන පෙන්වා දෙනවා.

මේ අතර ඔස්ට්‍රේලියාවේ වෙසෙන ජාත්‍යන්තර සිසුන් සයිබර් අපරාධ සඳහා යොදවා ගැනීමට සංවිධානාත්මක අපරාධකරුවන් ක්‍රියා කරන බවයි ෆෙඩරල් පොලීසියේ ටිම් ස්ටෙන්ටර් ප්‍රකාශ කළේ.

අන්තර්ජාතික සිසුන් ඔස්ට්‍රේලියා අපරාධ නීති සම්බන්ධයෙන් වූ නොදැනුවත්කම මත මෙවැනි අපරාධ සදහා යොමුවන බවයි වාර්තා වනවා.

විදේශ රටක ජීවත්වීමේදී අමතර මුදලක් උපයා ගැනීමට වූ කැමැත්ත මත අන්තර්ජාතික සිසුන් මේ සදහා පෙළෙඹවෙන බව සදහන්.

මෙය ජාත්‍යන්තර සිසුන්ට පමණක් නොව අමතර මුදලක් ඉපැයීමට උත්සහ කරන ඔස්ට්‍රේලියානුවන් ද මේ සදහා යොමුව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මුලිකව සයිබර් අපරාධකරුවන් ඩොලර් 1500ක් 2000ක් වැනි මුදලක් ලබා දෙමින් ඔවුන්ගේ ගිණුම්වලට ඇතුල්වී විවිධ වංචනික ක්‍රියා සිදු කරන බවයි වාර්තා වන්නේ.

මුදල් විශුද්ධිකරන කටයුතු සදහා අතකොලු ලෙස පුද්ගලයින් යොදා ගැනීම සමස්ථ ඔස්ට්‍රේලියාවේ මූල්‍ය ක්ෂේත්‍රය සදහා බලපෑම් සහගත වන බව නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව පවසනවා.