Search

තවත් පාසල් දෙකකින් ඇස්බැස්ටස් සහිත වසුන් කොටස් හමුවෙයි

සිඩ්නි නුවර තවත් පාසල් දෙකකින් අනතුරුදායක ඇස්බැස්ටස්වලින් දූෂිත ගෙවතු අලංකරණ වසුන් කොටස් හමුවී තිබෙනවා.

නිව් සවුත්වේල්ස් පරිසර ආරක්ෂණ අධිකාරියේ නව කාර්ය සාධක බලකාය විසින් සිඩ්නි නුවර පමණක් ඇස්බැස්ටස් දූෂිත වසුන් ඇති ස්ථාන 34 ක් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඕචර්ඩ් හිල්ස් හි පෙන්රිත් ක්‍රිස්තියානි පාසල සහ මාස්ඩන් උද්‍යානයේ ශාන්ත ලූක්ස් කතෝලික විද්‍යාලය ද ඇස්බැස්ටස් ඇති බවට පරීක්‍ෂා කර තහවුරු කළ බව අධිකාරිය නිවේදනය කළා.

සිසුන් 2,000 ක් පමණ සිටින ශාන්ත ලූක් කතෝලික විද්‍යාලය පසුගිය සතියේ සාම්පල පරීක්ෂා කරමින් සිටියදී වසා දැමුණා.

එහි ඇස්බැස්ටස් දූෂිත වසුන් ඝන මීටර් 30ක් පමණ සොයාගෙන තිබූ බව සඳහන්.

පරිසර ආරක්ෂණ අධිකාරිය පෙන්රිත් ක්‍රිස්ටියන් පාසලේ ඇස්බැස්ටස් හමුවීම තහවුරු කළ අතර පාසලේ අපවිත්‍ර වූ ප්‍රදේශය සිසුන්ට ප්‍රවේශ විය නොහැකි ලෙස වසා දමා තිබෙනවා.

ලබන සතියේ සිඩ්නි නුවර පැවැත්වෙන ටේලර් ස්විෆ්ට්ගේ සංදර්ශනවලට පෙර ඔලිම්පික් උද්‍යානය තුලින් ද ඇස්බැස්ටස් වසුන් ඉවත් කර ඇති බවයි පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධාන විධායක ටෝනි චැපල් ප්‍රකාශ කළේ.