Search

දේශීය රතු වයින් මිලදී ගන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

වසර ගණනාවක සිට ගැටලුවලට මුහුණ දෙන මිදි වගාකරුවන්ට සහාය දැක්වීම සඳහා දේශීය රතු වයින් මිලදී ගන්නා ලෙස ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

වයින් කර්මාන්තයේ විශේෂඥයෙකු ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටින්නේ චීනය තීරු බදු ඉවත් කළ ද දේශීය රතු වයින් මිලදී ගැනීමට කටයුතු කරන ලෙසටයි.

2020 වසරේ අගෝස්තු මාසයේදී ඔස්ට්‍රේලියා වයින් සඳහා චීනය සියයට 218ක ආනයන බදු පැනවීම හේතුවෙන් මේ වන විට අපනයනය සිදු කෙරෙන්නේ වසරකට ඩොලර් මිලියන 10කට වඩා අඩුවෙන් වන අතර බදු ඉහළ නැංවීමට පෙර චීන අපනයන වෙළඳපොල තුළ ඩොලර් බිලියන 1.2ක පමණ වටිනාකමක වයින් අපනයනය කෙරුණා.

චීනයේ වාණිජ අමාත්‍යාංශය විසින් ආනයන බදු පිළිබඳ මාස පහක සමාලෝචන ක්‍රියාවලියක් සිදු කරන අතර එය මාර්තු 31 වන දින අවසන් කිරීමට නියමිතයි.

පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළේ වෙළඳ අමාත්‍ය ඩොන් ෆැරල් පෙබරවාරි 26 වෙනිදාචීන වෙළඳ අමාත්‍යවරයා හමුවීමට නියමිත අතර එහිදී ඔස්ට්‍රේලියානු පොකිරිස්සන් සහ වයින් පිළිබඳ ඇති අවහිර කිරීම් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිනු ඇති බවයි.

ඔත්තු බැලීමේ චෝදනාව මත රදවාගෙන සිටි ඔස්ට්‍රේලියා ලේඛක යැං හෙන්ජුන්ගේ අත්හිටවූ මරණීය දණ්ඩනය අඩු කර ගැනීමට ඔස්ට්‍රේලියාව උත්සාහ කරන බැවින් මෙම සාකච්ඡා පිළිබඳ අවදානමක් ද මතුවී තිබෙනවා.

දැනට ඔස්ට්‍රේලියානු වයින් අලෙවියෙන් සියයට 40ක් දේශීය වෙළඳපොල වන අතර නවසීලන්ත වයින්වල ජනප්‍රියතාවය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් ජාත්‍යන්තර වයින් මිලදී ගැනීම තරමක් වැඩි වී ඇතැයි සඳහන්.

රතු වයින් නිෂ්පාදනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇති දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක නිෂ්පාදනවලට චීන වෙළඳපල වසා දැමීමෙන් සැලකිය යුතු පහරක් වැදී ඇති බවටයි සැලකෙන්නේ.

ටස්මේනියාව සහ මෝනිංටන් අර්ධද්වීපය වැනි සුදු වයින් නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ ප්‍රදේශ, චීන අපනයන වෙළෙඳපොළ මත රඳා නොපවතින බැවින් ඔවුන්ට බලපෑමක් සිදුවී නැහැ.