Search

වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව් ගිනි නිසා හානි වූ දේපළ ගැන අලුත්ම අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශයේ ලැව්ගිනි හේතුවෙන් නිවාස 44ක් විනාශ වී ඇති බව වික්ටෝරියා අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් පවසනවා.

බලපෑමට ලක් වූ ජනතාවට සිදුවී ඇති හානිය තවමත් තක්සේරු කෙරෙමින් පවතින අතර ඇතැම් ප්‍රදේශවලට තවමත් විදුලි බලය ද ලැබී නොමැති බව සඳහන්.

පොමොනල් ප්‍රදේශයේ නිවාස 24ක් සහ ඩැඩ්වෙල් බ්‍රිජ්ස් හි නිවසක් අහිමි වී ඇති බව බලධාරීන් ඊයේ ප්‍රකාශ කිරීමෙන් පසුව අගමැතිවරිය නව සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර තිබෙනවා.

ඊයේ දහවල් ප්‍රදේශයේ පීඩාවට ලක්වූ ජනතාවට පළමු වරට ඔවුන්ගේ නිවෙස් වෙත ආපසු යාමට හැකි වූ අතර ප්‍රදේශයේ සිදුවූ හානිය තවමත් හදිසි සේවා අංශ තක්සේරු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

අඟහරුවාදා අනාවරණය වූ අභ්‍යන්තර වාර්තාවලට අනුව රාජ්‍ය හදිසි සේවා අමතන ලද ඇමතුම්කරුවන් 100කට වැඩි පිරිසකට විනාඩි 22ක් දක්වා ඇමතුමේ රැඳී සිටීමට සිදුවී තිබුණා.

අද සිකුරාදා උදෑසන වන විට පාරිභෝගිකයින් 33,000 කට තවමත් විදුලිය නොමැති බව ද සඳහන්.