අද දිනයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නව කොරෝනා රෝගීන් 7දෙනෙකු වාර්තා වීමත් සමඟ මුහුණු ආවරණ පැළඳීම අනිවාර්‍ය කිරීම ඇතුළු වෙනස් කල නීති මෙසේය.
අද දින නව කොරෝනා රෝගීන් 7 දෙනෙකු වාර්තා වීමත් සමඟ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Gladys Berejiklian විසින් කොරෝනා නීති ගණනාවක් ප්‍රකාශයට පත් කළාය. සිඩ්නි හි ගෘහස්ථ පරිශ්‍රයන්හි අනිවාර්ය මුහුණු ආවරණ සහ උතුරු වෙරළ තීරයේ දකුණු කලාපයේ පවතින තත්වය ඉවත් කිරීම ඇතුළු කොරෝනා නීති සීමාවන් ගණනාවක් ඇය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව, අද රාත්‍රී 11:59 සිට Narrabeen Bridge හි දකුණින් වෙසෙන පදිංචිකරුවන් 180,000 දෙනා, සිඩ්නි, Wollongong, Central Coast සහ Nepean Blue Mountain යන ප්‍රදේශයන් හි පවතින විධිවිධාන වලට යටත් වේ.
මේ අතර, සිඩ්නි නුවර ගෘහස්ථ පරිශ්‍රයන් ගණනාවකට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය බව Berejiklian පැවසීය. අද මධ්‍යම රාත්‍රියේ සිට, සාප්පු යාමේදී, පොදු ප්‍රවාහන ස්ථාන වලදී, සිනමා ශාලා, පූජනීය ස්ථාන, හිසකෙස් හා රූපලාවණ්‍යාගාර වැනි ගෘහස්ථ විනෝදාස්වාද ස්ථානවල මුහුණු ආවරණ පැළඳිය යුතු අතර අවන්හල් සහ කැසිනෝ ශාලාවල සිටින සියලුම කාර්ය මණ්ඩලයට සහ සූදු සේවා භාවිතා කරන අයට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
මෙම නීතිය උල්ලංඝනය කරන පුද්ගලයෙකුට ඩොලර් 200 ක දඩයක් නියම විය හැකි නමුත් සඳුදා දක්වා සහන කාලයක් ක්‍රියාත්මක වේ.
NSWHealth පැවසුවේ වයස අවුරුදු 12 ට අඩු ළමයින් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්‍ය නොවන බවයි.
තවද, විවිධ ස්ථානයන්හි රැස්විය හැකි උපරිම පුද්ගලයින් ගණන පිළිබඳව ද දැනුම් දී තිබේ.
ඒ අනුව, යෝග්‍යතා මධ්‍යස්ථානයන් හි සහභාගී විය හැකි උපරිම පුද්ගලයින් ගණන 30 ක් ද, පූජනීය ස්ථානවල උපරිම වශයෙන් පුද්ගලයින් 100 ක්, මංගල උත්සව සහ අවමංගල්‍ය කටයුතු 100 දෙනෙකුට සීමා කිරීම සහ එළිමහන් ප්‍රසංග සහ අනෙකුත් එළිමහන් රැස්වීම් සඳහා 500 ක් ලෙස සීමාවන් පනවා ඇත.
රාත්‍රී සමාජශාලාවලට තවදුරටත් අවසර නැත.