
මහා මාර්ග ව්‍යාපෘති 50 ක් සඳහා මුදල් ප්‍රතිපාදන කප්පාදු කිරීමට ෆෙඩරල් රජය ගත් තීන්දුව සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයන් 02 ක් දැඩි අප්‍රසාදය පළකර තිබෙනවා.
නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයන් නිවේදනය කර ඇත්තේ දැනටමත් ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති රැසක් අතරමග නතර කිරීමට මෙම තීරණය ඉවහල් විය හැකි බවයි.
ප්‍රතිපාදන කප්පාදු කල යුතු සංවර්ධන ව්‍යාපෘති තෝරාගෙන ඇති ආකාරය ගැටලු සහගත බවද ඔවුන් සඳහන් කර සිටිනවා.

ඩොලර් බිලියන ගණනක පාඩු සිදුව ඇති බවට ස්වාධීන සමාලෝචනයක දී හෙළිවූ ඉදිකිරීම් ව්‍යාපෘති 50 ක් සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීම අත්හිටුවීමටයි ෆෙඩරල් රජය පසුගිය සතියේදී තීරණය කලේ.
මින් බහුතරයක් නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල ඒවා වනවා.

එමෙන්ම ඉදිරියේ සිදු කිරීමට නියමිත තවත් යටිතල පහසුකම් ව්‍යාපෘති 400 ක ශක්‍යතා අධ්‍යයන නැවත පරීක්ෂා කල යුතු බව එම සමාලෝචනය මගින් පෙන්වා දී තිබෙනවා.
මේ අතර ඉදිරියේ සිදුකිරීමට නියමිත මහා මාර්ග ව්‍යාපෘති සඳහා වැයවන වියදම්වලදී ෆෙඩරල් රජයේ දායකත්වය සියයට 80 සිට සියයට 50 දක්වා අඩු කිරීමට ප්‍රවාහන සහ යටිතල පහසුකම් අමාත්‍ය කැතරින් කිං පසුගියදා තීරණය කර තිබුණා.