Search

Optus සේවා අඩාලවීම සයිබර් ප්‍රහාරයක් නොවේ – සේවා යථා තත්වයට පත්වීම ඇරඹෙයි

පැය 09 කට ආසන්න කාලයක් අඩාලවී තිබූ ඔප්ටස් සේවා යථා තත්වයට පත්වීම ආරම්භ වී තිබෙනවා.

කෙසේවෙතත් සියලුම ප්‍රදේශවල සමස්ත සේවා පූර්ණව යථා තත්වයට පත්කල හැකි වේලාවක් ස්ථිරවම ප්‍රකාශයට පත්කල නොහැකි බවයි ඔප්ටස් සමාගම දන්වා සිටින්නේ.

මේ අතර ඔප්ටස් සන්නිවේදන සේවා අඩාලවීම සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් සිදුවූවක් බවට වන මත ෆෙඩරල් රජය විසින් බැහැර කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම සිදුවීම හමුවේ තමන්ට වූ පාඩුව පිළිබඳ තක්සේරු සටහන් තබා ගන්නා ලෙසයි සන්නිවේදන අමාත්‍ය මිචෙල් රෝලන්ඩ් සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට දන්වා සිටින්නේ.

මෙය සමාගමේ අභ්‍යන්තර පද්ධතිවල සිදුවූ දෝෂයක් මිස සයිබර් ප්‍රහාරයක බලපෑමක් නොවන බවට ඔප්ටස් ප්‍රධානීන් විසින් දැනුම් දී ඇති බවද ඇය අවධාරණය කලා.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වුවහොත් වනදි ඉල්ලුම් කිරීමට පහසුවන බැවින් අදාල පාඩු පිළිබඳ සටහන් තබා ගැනීම යෝග්‍ය බවටයි දැනුම් දීමක් සිදු කෙරෙන්නේ.

මේ අතර ඔප්ටස් සිදුවීම සම්බන්ධයෙන් නිවැරදි සත්‍ය නොදැන සමාජ මාධ්‍ය තුළ විවිධ අසත්‍ය දෑ ප්‍රචාරය කිරීමෙන් වළකින්නැයිද ෆෙඩරල් රජයේ සන්නිවේදන අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.