හමාස් – ඊශ්‍රායල යුධ ගැටුම් වලට අදාළව මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප හා විඩියෝ දර්ශන මගින් දරුවන් ආරක්ෂා කර ගන්නා ලෙස ෆෙඩරල් රජය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන යුදෙව් දරුවන්ගේ දෙමාපියන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයෙන් පසුවන ලෙසයි රජය උපදෙස් ලබා දී ඇත්තේ.
හමාස් ත්‍රස්ත ප්‍රහාර හමුවේ ඝාතනය වූ කුඩා දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ දින වල ඉතා වේගයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව අනාවරණය වී තිබෙනවා.
මේ අතර යුදෙව් සිසුන්ගේ සමාජ මාධ්‍ය භාවිතයන් පිළිබද දෙමව්පියන්, ගුරුවරුන් මෙන්ම වැඩිහිටියන්ද දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවටයි රජය අනතුරු අගවා ඇත්තේ.
විශේෂයෙන් ටික්ටොක්, ඉන්ස්ටග්‍රම් වැනි සමාජ මාධ්‍ය යෙදවුම් කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු කරන්නැයිද ඉල්ලීමක් කෙරෙනවා.
යුධමය මානසිකත්වයෙන් දරුවන් හැකිතාක් ඈත්කර තබන ලෙසත් දරුවන් මේ දින වල කතා බහ කරන මාතෘකා සම්බන්ධයෙන් වැඩි අවධානයක් දක්වන ලෙසත් දෙමාපියන් වෙත වැඩිදුරටත් උපදෙස් දී තිබෙනවා.