පර්ත් ළමා රෝහලේදී සිදුව ඇතැයි පැවසෙන ළමා සහ තරුණ ලිංගික අතවර සිදුවීම් සම්බන්ධයෙන් පුලුල් විමර්ශන මාලාවක් ආරම්භ කර තිබෙනවා.
විශේෂයෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන මානසික ආබාධ සහිත ළමුන් සහ තරුණියන් විවිධ ලිංගික අතවරයන්ට ලක්වන බවයි හෙළිවී ඇත්තේ.
පසුගිය වසරේ ජුනි මස සිට මාස 12 ක කාලය තුළ පර්ත් ළමා රෝහල් පරිශ්‍රයේ බරපතල ලිංගික අතවර 68 ක් වාර්තා වී ඇති බව සඳහන්.
ප්‍රතිකාර සදහා පැමිණි 13 හැවිරිදි දැරියක තවත් රෝගියෙකු විසින් අතවරයට ලක්කිරීමේ සිද්ධිය එයින් බරපතලම සිදුවීමක් බවයි රෝහල් බළධාරීන් පෙන්වා දෙන්නේ.
නේවාසිකව ප්‍රතිකාර ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට පර්ත් ළමා රෝහල තුළ මෙවැනි අනාරක්ෂිත තත්වයක් පැවතීම දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
ළමා ආරක්ෂාව ප්‍රමුඛ කර ගනිමින් රෝහල් පද්ධතිය යළි ප්‍රතිසංස්කරණය කරන අතර ඉදිරියේ දී කිසිදු බියකින් තොරව රෝගීන් හට නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කරන බවයි රෝහල් පාලනාධිකාරිය අවධාරණය කර ඇත්තේ.