විවිධ දෙමාපිය වීසා කාණ්ඩ යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා අපේක්ෂාවෙන් සිටින 143,000 කට වැඩි පිරිසකගේ අයදුම්පත් තවමත් ගොඩගැසී පවතින බවට අනාවරණය වී තිබෙනවා.
වාර්ෂික වීසා කෝටාව යටතේ අනුමැතිය හිමිවනුයේ 8,500 කට ආසන්න දෙමාපිය වීසා බලපත් නිකුත් කිරීම සඳහා පමණයි.
එබැවින් මාසිකව ලැබෙන නව වීසා අයදුම්පත් සංඛ්‍යාව ද සැළකීමේදී මෙම අයදුම්පත් ගොඩ දිනෙන් දින ඉහළ යන බවයි සංක්‍රමණ දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ.
මෙම තත්වය මගහරවාලීම සඳහා එවක පැවති ලිබරල් සන්ධාන රජය විසින් 2019 වසරේදී දෙමව්පියන් වෙනුවෙන් වසර 05 ක තාවකාලික වීසා බලපත්‍රයක් හඳුන්වාදෙනු ලැබුවා.
එහෙත් 2020-2023 කාලසීමාවේදී නිකුත්කර ඇත්තේ එයින් වීසා බලපත් 9,000 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් බවයි සඳහන් වන්නේ.
මේ අතර ඔස්ට්‍රේලියාව විසින් දෙමාපිය වීසා සංඛ්‍යාව සීමා කල යුතු බවටද යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
වයස්ගත ජනගහණය අසීමිත ලෙස වැඩිවුවහොත් එය සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි වනු ඇති බවට වන උපකල්පනය ඊට හේතුවයි.