
සේවකයින් සදහා නිසි වැටුප් නොගෙවන ආයතන ප්‍රධානීන්ට එරෙහිව දැඩි නීති පැණවීමට සුදානම් බව නව Fair Work Ombudsman ඇනා බූත් පවසනවා.
නව Fair Work Ombudsman ලෙස ඇනා බූත් ඉදිරි වසර 05 සදහා පසුගියදා වැඩ භාරගනු ලැබුවා.
සේවා කොන්දේසි සපුරාලිය නොහැකි ප්‍රධානීන් හට දඩ නියම කිරීම, රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සහ නඩු පැවරීම දක්වා නීති දැඩි කරන බවටයි ඇය සහතික වන්නේ.

මෙතෙක් මේ සම්බන්ධව පවතින නීතිවල හිඩැස් හේතුවෙන් ඇතැම් සේවා යෝජකයන්ට කම්කරු නීතිවලින් ගැලවී යාමට වැඩි ඉඩක් පවතින බවයි ඇනා බූත් පෙන්වා දෙන්නේ.
නව නීති සම්පාදනය වීමෙන් පසු ආයතන ප්‍රධානීන් හට ඔවුන්ගේ තනි අභිමතය පරිදි සේවකයින් සේවයේ යෙදවීමට අවස්ථාව හිමි නොවන බවයි ඇනා බූත් අවධාරණය කළේ.

මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය සදහන් කළේ විශේෂයෙන් ඇගළුම් කර්මාන්තයේ නියුතු සේවකයින් සේවා මුරවලදී අනිසි බලපෑම් වලට ලක්වන බවයි.
සේවා ස්ථාන තුළ ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරන බව ඇනා බූත් සදහන් කළා.
සුපිරි වෙළඳසැල් – ගුවන් සමාගම් ඇතුලු ආයතන රැසක සේවක වැටුප් හා සේවා කොන්දෙසි උල්ලංඝණය වීමෙන් අගතියට පත් සේවකයින් සදහා ඩොලර් මිලියන ගණනක වන්දි ලබාදීමට නව Fair Work Ombudsman දැනටමත් සමත්වී සිටින බවද ඇය පෙන්වා දෙනවා.