
සරණාගතභාවයේ සිටින සියල්ලන්ට ස්ථිර පදිංචිය ලබාදෙන්නැයි බලකරමින් ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු විසින් පා ගමනක් ආරම්භ කර තිබෙනවා.
නීල් පාරා නම් මොහු වික්ටෝරියා හි බලරට් නගරයේ සිට සිඩ්නි නුවර පිහිටා ඇති අගමැති මැතිවරණ කාර්යාලය දක්වායි අද පෙරවරුවේ මෙම පාගමන ආරම්භ කරනු ලැබුවේ.
මෙම සමස්ත පා ගමනේ දුර ප්‍රමාණය කිලෝමීටර් 1,000 කට ආසන්න වන බවටයි තක්සේරු කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ යුධමය වාතාවරණය පැවති සමයේ රටින් පළා ආ මොහු සහ පවුලේ සාමාජිකයන් වසර 08 කට වැඩි කාලයක් කිසිදු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට වාසය කර තිබෙනවා.
ෆෙඩරල් රජය විසින් හඳුන්වා දුන් නව ස්ථිර පදිංචි ක්‍රමවේදයට අයදුම් කිරීමට නොහැකි 12,500 ක් පමණ වන පිරිසට තමන් ද ඇතුළත් වන බවයි නීල් පාරා පෙන්වා දෙන්නේ.

ඕනෑම අවස්ථාවක ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරිමේ අවධානමකට මුහුණදී සිටින තමන් ඇතුලු පිරිසට සාධාරණයක් ඉටු කරන්නැයි ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටීම ඔහුගේ අපේක්ෂාව වී තිබෙනවා.
දිනකට කිලෝමීටර් 30 ක දුරක් ගමන් කර ලබන සැප්තැම්බර් 09 වනදා වනවිට සිඩ්නි නගරයේ පිහිටි ගමනාන්තයට ළගාවීම නීල් පාරා ගේ සැළසුමයි.
අනතුරුව අගමැතිවරයා වෙත පෙත්සමක් භාරදීමට ඔහු සූදානමින් පසුවනවා.