
නිරතුරුව සිදුවන ගුවන් ගමන් අවලංගු කිරීම් හමුවේ ඔස්ට්‍රේලියාවේ දුෂ්කර සහ ප්‍රාදේශීය කලාපවල පදිංචිකරුවන්ට ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය සේවා ලබාගැනීමේ අපහසුතා මතුවී තිබෙනවා.
ඇතැම් අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිවීම හමුවේ අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත පවා අවධානම් තත්වයට පත්වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ගුවන් නියමුවන්ගේ හිගය හේතුවෙන් විශේෂයෙන් උතුරු ක්වීන්ස්ලන්ඩ් – Northern Territory සහ බටහිර ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශ දක්වා ක්‍රියාත්මක ගුවන් ගමන් සතියකට 20 ත් 25 ත් අතර සංඛ්‍යාවක් අවලංගු වන බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෙයින් ඇතැම් ප්‍රදේශ දක්වා ක්‍රියාත්මක වනුයේ සතියකට එක් ගුවන් වාරයක් පමණක් බැවින් එයද අවලංගු වීමෙන් තමන් ඉමහත් දුෂ්කරතාවයකට පත්වන බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.
ප්‍රධාන නගර සමග සම්බන්ධවිය හැකි එකම ක්‍රමය ප්‍රාදේශීය ගුවන් සේවා පමණක් බැවින් මෙම ගැටලුවට වහා විසඳුමක් දීම බළධාරීන්ගේ ප්‍රමුඛ අවධානය යොමුවිය යුතු කරුණක් ලෙසයි ඔවුන් අවධාරණය කරන්නේ.
