ඩොලරය පරදා රුපියල තවත් ඉහළට

අමෙරිකානු ඩොලරය ඇතුලු විදේශීය මුදල් ඒකක රැසකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී තවදුරටත් ඉහළගොස් තිබෙනවා.

පසුගිය සිකුරාදා දිනයේදී අමෙරිකානු ඩොලරයක ගැණුම් මිළ රුපියල් 292 ක් ලෙස පැවති නමුත් අද පෙරවරුවේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කිහිපයකම අමෙරිකානු ඩොලරයක ගැණුම් මිළ රුපියල් 280 කට ආසන්න වී තිබුණා.

එමෙන්ම සිකුරාදා දිනයේදී අමෙරිකානු ඩොලරයක විකිණුම් මිළ රුපියල් 308 කට ආසන්නව පැවති නමුත් අද දිනයේදී එය පවතින්නේ රුපියල් 302 කට ආසන්නවයි.

මේ අතර ප්‍රධාන බැංකු කිහිපයක ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිළ රුපියල් 186 දක්වාද විකිණුම් මිළ රුපියල් 199 දක්වාද පහත වැටී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන දෛනික විනිමය අනුපාතික අගයන් ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද දහවල් 12.30 න් පසුව නිකුත් කිරීමටයි නියමිතව ඇත්තේ.