
Home Guarantee Scheme (HGS) හෙවත් නිවාස සුරක්ෂා වැඩසටහනට සුදුසුකම් ලබන පිරිස තවත් පුලුල් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
මෙතෙක් ඔස්ට්‍රේලියා පුරවැසියන්ට පමණක් පැවති එම අවස්ථාව ස්ථිර පදිංචිභාවය හිමි තැනැත්තන් දක්වා ව්‍යාප්ත කිරීම එහි ඇති ප්‍රධාන සංශෝධනයක්.
මෙතෙක් විවාහක යුවළකට හවුලේ පළමු නිවස මිළදී ගත හැකිව තිබූ පරිදි පවතින රෙගුලාසිය මිතුරන් හෝ පවුලේ සාමාජිකයන් සමග හවුලේ මිළදී ගත හැකි යන අයුරින් සංශෝධනය වනු ඇති.

ඒ අනුව සුදුසුකම් ලබන ඕනෑම දෙදෙනෙකුට නිවසක් මිළදී ගැනීමට පහසුකම් සළසමින් මෙම නව සංශෝධනය ලබන ජූලි පළමුවනදා සිට බලාත්මක වන බවයි ෆෙඩරල් නිවාස අමාත්‍ය ජූලි කොලින්ස් සඳහන් කලේ.
වැඩි ඔස්ට්‍රේලියානුවන් පිරිසකට නිවසක අයිතිය හිමිකර දීම මෙහි අරමුණ බවත් ඔහු කියා සිටියා.

සහකරු හෝ සහකාරිය නොමැතිව දරුවන් සමග තනිව වාසය කරන විවාහකයන්ට (single parent) පළමු නිවස මිළදී ගැනීමේදී තැන්පත් කල යුතු අවම මුදල සියයට 02 ක් දක්වා අඩු කර තිබීම විශේෂත්වයක්.
එමෙන්ම සෙසු පුද්ගලයන් විසින් තැන්පත් කල යුතු අවම මුදල ද සියයට 05 කට අඩු කිරීමට නියමිතයි.
උකස් හා ණය වාරික ඉහළයෑම් හමුවේ තමන්ට කිසිදු දිනයක නිවසක් මිළදී ගැනීමට නොහැකි වනු ඇති බවට තරුණ ඔස්ට්‍රේලියානුවන් අතුරින් 9/10 ක් පසුගියදා සිදුකල මත විමසුමකදී අදහස් දක්වා තිබුණා.