
ශ්‍රී ලංකාවෙන් පිටතදී පවත්වන දැවැන්තම බක්මහ උළෙලක් වන මෙල්බන් බක් මහ උළෙල අද දවස පුරා Dandenong showgrounds හිදී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ඔස්ට්‍රේලියාවේ ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙවර මෙල්බන් බක් මහ උළෙල සංවිධාන කර ඇත්තේ 27 වරටයි.
ඒ සඳහා මෙවර මාධ්‍ය අනුග්‍රහය සැපයීමට ඔස්ට්‍රේලියාවේ අංක එකේ ශ්‍රී ලාංකික මාධ්‍ය ජාලය වන Ausලංකා TV / Ausලංකා Radio ප්‍රමුඛ Ausලංකා මාධ්‍ය ජාලයද අත්වැල් බැඳගෙන සිටිනවා.

සෑම වයස් කාණ්ඩයකටම සහභාගී විය හැකි තරග ඉසව් ගණනාවකින් සහ ජනක්‍රීඩා රැසකින් මෙවර මෙල්බන් බක් මහ උළෙල සමන්විත වනු ඇති.
එමෙන්ම අද දිනයේ පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට සේවා රැසක් ලබාගැනීමේ පහසුකම් සළසා තිබෙනවා.

මෙල්බන් කොන්සල් කාර්යාලය විසින් පවත්වන ජංගම කොන්සියුලර් සේවා ඉන් ප්‍රමුඛ වනු ඇති.
වික්ටෝරියා – දකුණු ඔස්ට්‍රේලියා සහ ටස්මේනියා ප්‍රාන්තවල වාසය කරන ලාංකිකයන්ට එමගින් ප්‍රතිලාභ රැසක් අත්වනු ඇති බවයි කොන්සල් කාර්යාලය නිවේදනය කරන්නේ.
ජීවන සහතික සත්‍යාපනය – විවිධ ලේඛණ සහතික කරවා ගැනීම – නව ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කිරීම මෙන්ම සංශෝධන සිදුකරවා ගැනීම වැනි සේවා ඊට අයත්.
එමෙන්ම ද්විත්ව පුරවැසිභාවයට අදාළ ලියකියවිලි / උප්පැන්න සහ රියදුරු බලපත්‍ර සඳහා වන සේවා ද මෙහිදී ලබාගත හැකි බවයි මෙල්බන් කොන්සල් කාර්යාලය සඳහන් කරන්නේ.
මීට අමතරව ඔස්ට්‍රේලියාවේ වාසය කරන ලාංකික ගත් කතුවරුන් විසින් රචිත ග්‍රන්ථද ඇතුලුව සිංහල – ඉංග්‍රීසි ඇතුලු භාෂා කිහිපයක පොත්පත් මිළදී ගැනීමටද මෙල්බන් බක්මහ උළෙලට පැමිණෙන ලාංකික ප්‍රජාවට අවස්ථාව උදාවනවා.
ගුවන් ප්‍රවේශපත්‍ර මිළදී ගැනීම් – විදුලි කාර්මික සේවා තොරතුරු – විවිධ ආහාර පාන මිළදී ගැනීම් ඇතුලු තවත් සේවා ගණනාවක්ද මෙල්බන් බක්මහ උළෙලේදී ලාංකිකයන්ට ලබාගත හැකියි.
බක්මහ උළෙල අවසානයේ ටැක්සි සංගීත කණ්ඩායමේ සංගීතයට රයිනි චාරුකා සහ ළහිරු පෙරේරා සහභාගීවන සංගීත ප්‍රසංගය දැකබලා ගැනීමේ අවස්ථාවද මෙල්බන් ලාංකිකයන්ට උදාවනවා.
බක්මහ උළෙල මෙන්ම සංගීත ප්‍රසංගයද සම්පූර්ණයෙන්ම නොමිළයේයි පැවැත්වෙන්නේ.