
පොදු නිවාඩු දිනවලදී සේවයේ නිරතවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව තුළ රැකියාවල නිරතවන්නන්ට බලපැවැත්වෙන පරිදි සුවිශේෂී අධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ෆෙඩරල් අධිකරණයක් විසින් ලබාදී ඇති එම නඩු තීන්දුව අනුව නිවාඩු දිනවල සේවා මුර සකස් කිරීමේදී කිසියම් සේවා යෝජකයෙකු විසින් එම දිනයේදී හෝ දිනවලදි සේවය කල හැකිදැයි පළමුවෙන් සේවකයාගේ කැමැත්ත විමසා සිටිය යුතු වනවා.
එසේ නොමැතිව සේවා යෝජකයාගේ තනි මතයට සේවා මුර සඳහා අනුයුක්ත කල නොහැකි බවයි අධිකරණ තීන්දුවේ දැක්වෙන්නේ.

පාස්කු නිවාඩු සති අන්තයට දින කිහිපයක් තිබියදී ප්‍රකාශයට පත් කෙරුණු මෙම තීන්දුව සේවකයන්ගේ මෙන්ම වෘත්තීය සමිතිවලද ජයග්‍රහණයක් බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
දැනට සේවකයන් විසින් එළැඹ ඇති ගිවිසුම් හෝ කොන්ත්‍රාත්වල කුමක් අඩංගුවී තිබුණද මෙම නියමයන් බලාත්මක විය යුතු බවයි ෆෙඩරල් අධිකරණ නියෝගයේ සඳහන් වන්නේ.

නත්තල් සහ බොක්සින් දිනවලදි තමන්ගේ කැමැත්ත නොවිමසා සේවයේ යෙදවීම සම්බන්ධයෙන් සේවකයන් පිරිසක් විසින් ඔස්ට්‍රේලියානු සේවායෝජකයෙකුට එරෙහිව පවරන ලද නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අධිකරණය මේ බව නිවේදනය කලා.
සෞඛ්‍ය – හදිසි සේවා – අලෙවි – ආගන්තුක සත්කාර වැනි කුමන ක්ෂේත්‍රයක නිරත වුවද මෙම නියමය බලපැවැත්වෙන අතර එය කඩකලහොත් ඉහළ දඩයකට යටත්වීමට සිදුවනවා.