
දෛනික සේවා කාලයෙන් පසු රාජකාරි කටයුතුවලට සම්බන්ධ සියලු සන්නිවේදන කටයුතු මගහැරීමට ගුරුවරුන්ට අවසර හිමිවන නව නීතියක් සම්මත කරගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ගුරුවරුන් සුදානම් වනවා.
ඒ අනුව අනෙකුත් තුරුවරුන්ගෙන් – සිසුන්ගෙන් – දෙමව්පියන්ගෙන් ලැබෙන දුරකථන ඇමතුම්වලට සහ ඊ මේල් පණිවුඩවලට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටීමට ඔවුන්ට අවස්ථාව උදාවනු ඇති.
වසර 03 කට ආසන්න කාලයක් පුරා සිදුකල සාකච්ඡාවල ප්‍රථිඵලයක් ලෙසයි මෙම එකගතා ගිවිසුමට අත්සන් තැබීමට යෝජනා වී ඇත්තේ.

ගුරු සංගම් විසින් එය සම්මත කලහොත් ක්වීන්ස්ලන්ඩ් කාර්මික සබඳතා කොමිසම වෙත අනතුරුව එය යොමු කෙරෙනු ඇති.
රාජකාරි කාලයෙන් බැහැරවද රාජකාරි කටයුතුවල නිරතවීමෙන් ගුරුවරුන්ට එල්ලවී පවතින දැඩි පීඩනය අවම කිරීම මෙහි එක් අරමුණක් වී තිබෙනවා.

සතියේ දිනවල පාසල් කටයුතු අවසන්වීමෙන් පසුව – සති අන්තයේ සහ පාසල් නිවාඩු කාල සීමා සඳහා මෙම නව නියමය බලාත්මක වනු ඇති.
මෑතකදී සිදුකල සමීක්ෂණයකදී හෙළි වී තිබුණේ ක්වීන්ස්ලන්ඩ් ගුරුවරුන් සතියකට පැය 45 කට වඩා රාජකාරියේ නිරතවීමෙන් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවයි.
ඉදිරි වසර 03 තුළදී ඔවුන්ගේ වැටුප සියයට 20 කින් වැඩි කිරීමේ යෝජනාවක්ද මෙම ගිවිසුමට අන්තර්ගතයි.