Search

ධනුෂ්ක අද සිඩ්නි අධිකරණයකට

කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (07) සිඩ්නි මහෙස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම ද ප්‍රතික්ෂේප වී තිබේ.

මෙවර T20 ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රෙලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ධනුෂ්ක ගුණතිලක ඇතුළත් වුණත් ඔහු ක්‍රීඩා කළේ පළමු තරගය සඳහා පමණි.

පිතිකරුවෙකු ලෙස පමණක් කණ්ඩායමට එක් වූ ධනුෂ්ක තරගාවලි කිහිපයක සිටම දිගින් දිගටම අසාර්ථකවීම හේතුවෙන් පළමු තරගයෙන් පසු ඔහුව කණ්ඩායමෙන් ඉවත් කෙරුණි.

ධනුෂ්ක ගුණතිලක අබාධයකට ගොදුරු වී ඇතැයි වාර්තා වූයේ මේ අතරවාරයේය.

නමුත් ආබාධයකට ගොදුරු වූ බව කියු ධනුෂ්ක තවදුරටත් සංචිතය තුළ රැඳිසිටිමින් කණ්ඩායම සමඟ පුහුණුවීම්වල පවා නිරත වුණි.

එවැනි වටපිටාවක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර සුපිරි 12 දෙනාගේ වටයේ පැවති තරගයෙන් පසු සිඩ්නි නුවර ශ්‍රී ලංකා කණ්ඩායම රැඳීසිටි හෝටලයේ දී ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රෙලියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ සිඩ්නි හි නැගෙනහිර රෝස් බේහි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළවය.

අලුයම 1ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඔස්ට්‍රෙලියා රාජ්‍ය අපරාධ විධාන අංශයේ ලිංගික අපරාධ අංශය සහ නැගෙනහිර පොලිස් ප්‍රදේශ විධානයේ රහස් පරීක්ෂකයින් විශේෂ විමර්ශනයකින් අනතුරුවය.

අදාළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ dating app ඔන්ලයින් යෙදවුමක් හරහා අදාළ තරුණිය සහ ධනුෂ්ක ගුණතිලක මුල්වරට හඳුනාගෙන ඇති බවය.

පසුව ඉකුත් නොවැම්බර් 02 වනදා රාත්‍රීයේ සිඩ්නි නුවර Opera Bar හිදි ඔවුන් දෙදෙනා හමුවී ආහාරය ලබාගෙන පසුව සිඩ්නි නුවර රෝස් බේහි පිහිටි එම තරුණියගේ නිවසට ගොස් ඇතැයි සඳහන්ය.

කෙසේ වෙතත් එම නිවසේ දී ධනුෂ්ක ගුණතිලක තමන් ලිංගික අතවරයට ලක්කළ බවට අදාළ තරුණිය පැමිණිල්ල ගොනු කර තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් නිව් සවුත් වේල්ස් පොලීසියේ ප්‍රකාශිකාවක් සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව “අනුමැතියෙන් තොරව ලිංගික සංසර්ගය යෙදීම” පිළිබඳ චෝදනා 04ක් ගොනුකර ඇති බවය.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත පොලිසිය ජෙයින් ඩෝර්ති,

“ලිංගික අපරාධ සම්බන්ධයෙන් අපි චෝදනා 04ක් ගොනුකර තිබෙනවා. ඔවුන් ආහාර පාන අරගෙන ඇගේ නිවස වෙත ගිහින් තියෙනවා. නිවසේදී මේ පුරුෂයා විසින් කාන්තාවට අවස්ථා කිහිපයකදීම පහරදීලා තියෙනවා. තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ කාන්තාව පියවර රැසක් අරන් තියෙනවා. හමුවෙන්න කලින් අවස්ථා කිහිපයකදි ඇය ඔහු සමඟ කතාබහ කරලා තියෙනවා.”

අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලක Sydney City පොලිසිය විසින් පැරමටා පොලිස් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදි ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප වී තිබේ.

ශ්‍රී ලාංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ලිංගික අපරාධ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීම ජාත්‍යාන්තර මාධ්‍ය රැසකම ප්‍රමුඛ පුවත වී තිබුණි.

මේ අතර ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගැනීම තහවුරු කරමින් නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඒ පිළිබඳ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය තමන් නිල වශයෙන් දැනුවත් කළ බවය.

එහි දැක්වෙන්නේ අබාධයකට ගොදුරු ධනුෂ්ක ගුණතිලක තවදුරටත් ඔස්ට්‍රෙලියාවේ රඳවා ගැනීම කණ්ඩායම් කළමණාකාරිත්වය ගනු ලැබු තීරණයක් වන අතර තේරීම් කමිටුවේ සහ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ඔහුව අතිරේක ක්‍රීඩකයෙකු ලෙස රඳවාගෙන සිටි බවය.

අත්අඩංගුවේ පසුවන ධනුෂ්ක හෙට දිනයේ යළි අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම නෛතික ක්‍රියාවලිය සමීපව නීරික්ෂණය කරන බවත්, අදාළ සිදුවීම පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් කර ධනුෂ්ක වරදකරු වුවහොත් ඔහුට විරුද්ධව දැඩි පියවර ගන්නා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම්දී ඇතැයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සඳහන් කළේය.

“අපි ක්‍රිකට් බෝඩ් එකට දැන්වුවා වහාම වාර්තාවක් ලබාදෙන්න අමාත්‍යාංශයට. ඊට අමතරව අලි සබ්‍රි ඇමතිතුමයි, රොෂාන් රණසිංහ ඇමතිතුමයි විදේශ අමාත්‍යාංශ ලේකම්තුමියයි එහේ ඉන්න අපේ තානාපති සහ කොන්සල් ජනරාලුයි සියලුදෙනා එක්ක සූම් රැස්වීමක් පැවැත්වුවා. එහිදි අලි සබ්රි ඇමතිතුමා කියා සිටියේ, ඔහුට චෝදනාවක් තියෙනවා. නමුත් චෝදනාව තවම ඔප්පු වෙලා නැහැ. ඒ නිසා අපි කොහොමද මෙයාට නීති කටයුතුවලට අපි උදව් කරන්නේ කියන එක තමයි අපි කතා කරලා බැලුවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කියා සිටියා ඒගොල්ලො ඒ සියලු වියදම් දරනවා කියලා. හැබැයි එක කොන්දේසියක් යටතේ, ඒ තමන් පෞද්ගලිකව කරගත් දේට තමන් පෞද්ගලිකවම වගකියන්න ඕන කියන පදනම මත.”

ධනුෂ්ක ගුණතිලකට විනය කඩ කිරීමේ චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවන අතර ඔහු මිට පෙර අවස්ථා ගණනාවකදී නිල සහ නොනිල වශයෙන් විනය කඩකිරීමේ චෝදනාවන්ට ලක්වුණි.

2017 වසරේ ඉන්දියාව සමග තරගාවලියක් පැවැත්වෙන අතරතුර රාත්‍රී සාදයකට සහභාගි වී උදෑසන පුහුණුවීම් සඳහා සහභාගි නොවීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට සීමිත පන්දුවාර තරග 06ක තහනමක් පැනවුණි.

එමෙන්ම 2018 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර ටෙස්ට් තරගයක් පැවැත්වෙන අතරතුර ක්‍රීඩකයින් නවාතැන්ගෙන සිටි හෝටලයට පිටස්තර පුද්ගලයෙකු ගෙන්වා ගැනීමත්, ක්‍රීඩක විනය නීති මාලාව බිඳදැමීමත් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණි.

විනය කඩකිරීම සම්බන්ධයෙන් ධනුෂ්කට එල්ල වූ ආසන්නතම චෝදනාව ඉකුත් වසරේ ජුනි මාසයේ එංගලන්ත සංචාරය අතරතුර තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග කොවිඩ් ජෛව බුබුල උල්ලංඝනය කරමින් ඩර්හැම් නුවර වීදියක් තුළ ගැවසීමය.

එම සිදුවීමට අදාළව ධනුෂ්ක ගුණතිලක සහ අනෙකුත් ක්‍රීඩකයින් දෙදෙනාට වසරක ජාත්‍යාන්තර තරග තහනමක් පැනවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

ධනුෂ්ක ගුණතිලක යළිත් මෙවන් චෝදනාවකට ලක්වන්නේ මෙවන් පසුබිමකය.