වික්ටෝරියා ප්‍රාන්තයේ සතියේ වැඩ කරන දින ගණන 04 ක් දක්වා අඩු කල යුතු දැයි සිදුකරන නියමු ව්‍යාපෘතිය වහා ආරම්භ කල යුතු බවට ග්‍රීන්ස් පක්ෂය අවධාරණය කරනවා.
රිච්මන්ඩ් ආසනය තුළ එය ආරම්භ කල යුතු බවත් වික්ටෝරියා ප්‍රාන්ත රජය ඊට මූල්‍ය ප්‍රතිපාදන සැපයිය යුතු බවත් ප්‍රාන්ත ග්‍රීන්ස් පක්ෂ නායිකා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සමන්තා රත්නම් සඳහන් කලා.
මේ සඳහා ප්‍රාන්ත රජය විසින් ඩොලර් මිලියන 60 ක මුදලක් වෙන්කල යුතුව ඇති බවයි ඇය කියාසිටියේ.
සේවා කාලය අඩු කලද පූර්ණ කාලීන සේවකයන්ට දැනට ගෙවනු ලබන වැටුප කිසිදු අඩුවක් නොකල යුතු වීම ග්‍රීන්ස් පක්ෂයේ ප්‍රධාන කොන්දේසියක් වනවා.
අර්ධ කාලීන සේවකයන්ටද එය එලෙසම පැවතිය යුතු නමුත් කිසිදු අයුරකින් සේවා කාලය අඩු කල නොහැක නම් ඔවුන්ට වැටුප් වැඩිවීමක් ලබාදිය යුතු බවයි සමන්තා රත්නම් අවධාරණය කර සිටින්නේ.
ඩොලර් මිලියන 50 ට වඩා වාර්ෂික පිරිවැටුමක් නොමැති වික්ටෝරියාවේ සියලු ව්‍යාපාරික ස්ථානවලට මේ යටතේ ප්‍රාන්ත රජය විසින් කිසියම් සහන මුදලක් ලබාදිය යුතුය යන්න තවත් ඉල්ලීමක් වනවා.
වසර 02 ක් පුරා එම නියමු ව්‍යාපෘතිය අත්හදා බැලීමෙන් අනතුරුව එහි වාසි අවාසි සළකා සමස්ත වික්ටෝරියා ප්‍රාන්තය තුළම සතියේ වැඩ කරන දින ගණන 04 ක් බවට ස්ථිරවම ප්‍රකාශයට පත් කල යුතු බව වික්ටෝරියා ග්‍රීන්ස් පක්ෂය අවධාරණය කර සිටිනවා.
කෙසේවෙතත් වික්ටෝරියා පාලක ලේබර් පක්ෂය මෙන්ම විපක්ෂ ලිබරල් සන්ධානයද දැනටමත් අවධාරණය කර ඇත්තේ ඉදිරි මැතිවරණයෙන් කවරෙකු ජයගත්තද වැඩ කරන දින ගණන අඩු කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවයි.