අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අද අධිකරණයේ පෙනී නොසිටි රාජ්‍ය ඇමති සනත් නිශාන්ත වහා අත්අඩංගුවට ගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කරයි.
පොලිස්පතිවරයාට අධිකරණය විසින් එම නියෝගය ලබාදුන්නේය.
අභියාචනාධිකරණය විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට පසුගිය 05 වනදා සිතාසි නිකුත් කලේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අද පෙනීසිට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වමිනි.
ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය කර ඇත.
ගෝඨා ගෝ ගම අරගලයට පහරදමේ සිද්ධියේ සැකකරුවන්ට ඇප දීමේදී මහේස්ත්‍රාත්වරු ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව විවේචනාත්මක අදහස් පළ කිරීම සම්බන්ධයෙන් පොදුජන එක්සත් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කොට දඬුවම් පමුණුවන්නැයි ඉල්ලා අධිකරණ සේවා සංගමය අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරිණී.
මහෙස්ත්‍රාත්වරු හා දිසා විනිසුරුවරුන් සාමාජිකත්වය දරණ අධිකරණ සේවා සංගමය විසින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සම මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට එරෙහිව නඩු විභාගයක් පවත්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඔහුට දඬුවම් පමුණුවන්නැයි ඉල්ලීමක් කොට ඇත.
මහෙස්ත්‍රාත්වරු හා දිසා විනිසුරුවරුන් සාමාජිකත්වය දරණ අධිකරණ සේවා සංගමය විසින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත නම් කොට ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පසුගිය 23 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී මෙන්ම වෙනත් මාධ්‍ය වලට වගඋත්තරකාර සනත් නිශාන්ත මහතා අදහස් දක්වමින් අරගලයට සම්බන්ධ සැකකරුවන්ට ඇප දීමේදී මහේස්ත්‍රාත්වරු ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව විවේචනාත්මක අදහස් පළ කොට ඇතැයිද ඉන් ඔහු අධිකරණයේ ගෞරවයට සහ ප්‍රතිරූපයට හානි සිදුකර ඇතැයිද සඳහන් කරන පෙත්සම්කාර අධිකරණ සේවා සංගමය එමඟින් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයිද සඳහන් කොට ඇත.
ඊට අමතරව නඩු විභාගයක් පවත්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය යටතේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට දඬුවම් පමුණුවන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාර අධිකරණ සේවා සංගමය අධිකරණයට අහාසාත්මක විය හැකි ප්‍රකාශ නිකුත් කිරීමෙන් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලීමක් කොට ඇත.