
ශ්‍රී ලංකාවේ සැත්කම් පොරොත්තු ලේඛනවල සිටින කුඩා ළමුන්ගේ ජීවිත අවධානම අවම කිරීම සඳහා ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ලාංකිකයන් පිරිසක් සත්කාර්යයක් සංවිධාන කර තිබෙනවා.
සුවයට සවියක් සංවිධානය විසින් එය නම් කර ඇත්තේ සෙනෙහසේ ආහාර පොළ යනුවෙනුයි.
මේ වනවිට ශ්‍රී ලංකාවේ අඩපණ වෙමින් තිබෙන ඖෂධ සැපයුම ඉදිරියේ රෝහල් පද්ධතිය තුල අසරණ වන රෝගීන් අතර ළමුන්ද එක්ව සිටිනවා.

සුවයට සවියක් සංවිධානය ශ්‍රී ලංකාවේ ළමා අක්මා බද්ද කිරීමේ ඒකකය වන කොළඹ උතුර රාගම රෝහල සමග කළ විමසුමකදී හෙලිවුයේ එහි පොරොත්තු ලේඛනය මේ වනවිට ළමුන් 56 කගෙන් පිරී ගොස් ඇති අතර එය සීග්‍රයෙන් වර්ධනය වන බවයි.
මෙම දරුවන්ගේ සැත්කම් ඉවරකිරීමට දැනටමත් වසරකට වඩා වැඩි කාලයක් ගත වියහැකි බවත් මේ මොහොත වනවිට බෙහෙත් හා උපකරණ හිගය, මෙහි සිටින සමහරුන්ගේ ජීවිත දැඩි අවධානමකට තල්ලූ කර ඇති බවත් අනාවරණ වනවා.

ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකික පාසල්, විශ්ව විද්‍යාල හා කාර්මික විද්‍යාල නියෝජනය කරන සංගම්, ක්‍රීඩා, ව්‍යාපාරික හා පොදු ජනතාව එක්ව මේ දරුවන්ගේ ජීවිත අවදානම අවම කරන්නට එනම් සුවයට සවියක් වන්නට ඉදිරියට පැමිණ තිබෙනවා.
එම අරමුදල ඉහල නැංවීමට මෙම දරුවන් වෙනුවෙන් අගෝස්තූ 27 වන සෙනසුරාදා දහවල් 12.30 සිට රාත්‍රී වන තුරුම Craigieburn හි Syrian දේවස්ථානයේ සෙනෙහසේ ආහාර පොළ ඔබට විවෘතව පවතිනවා.
දරුවන්ම ජීවිත කරගත් දයාබර මව් පියනි, අද අසරණව ඇත්තේද දරු සෙනෙහසයි, අහිමිවන්නේ පුංචි මල් කැකුළුවල අනාගතයයි, අපේ මව්බිමේ හෙට දවසයි.
පැමිණෙන්න සෙනෙහසේ ආහාර පොලට
දන්දෙමු ජීවිතය ඔවුනට
රස විදින්න ගමන්ම අපේ රසට කෑම වේලක්…