
චීනයේ යුවාන්වැන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට ලගාවීම ප්‍රමාද කරන ලෙස ශ්‍රී ලංකා රජය චීන රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දීය මාධ්‍ය පවසන්නේ දෙරටෙහි රජයන් අතර තවදුරටත් උපදේශන සිදු කිරීමට අවශ්‍ය බැවින් එම තීරණය ගෙන ඇති බවයි.
මත භේදාත්මක යුවාන්වැන්ග් 5 නෞකාව එළඹෙන 11 වනදා හම්බන්තොට වරායට ළගා වීමට නියමිතව තිබුණා.

එය ලබන 17 වනදා තෙක් හම්බන්තොට වරායේ නැංගුරම්ලා තැබීමට නියමිත බවයි මීට පෙර වාර්තා වුණේ.
මෙම නෞකාවේ පැමි”ම සම්බන්ධයෙන් මත භේදාත්මක තත්ත්වයක් ඇති වුයේ ඉන්දියාව ඒ සම්බන්ධව දැඩි අවධානයක් යොමු කිරීමත් සමගයි.

අදාළ චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායේ නැංගුරම් ලෑම සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි විරෝධය එල්ල වුණා.
ඉන්දියාවට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කර තිබුණේ තමන් සිදුකරන නීත්‍යානුකූල සමුද්‍ර ක්‍රියාකාරකම් සඳහා ඉන්දියාව මැදිහත් නොවනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කළ පරිදි චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට ඇතුළු කිරීමට සැලසුම් කර තිබූ දිනය කල් දමන ලෙසට ඉල්ලීමක් කර ඇති අතර, චීනය ඊට මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.
පර්යේෂණ හා ගවේශණ කටයුතුවල නිරත වන බව පැවසෙන චීනයේ යුවාන්වැන්ග් 5 නෞකාව 2017 නිපදවූවක් වන අතර එහි ගෙන යාහැකි බහාලූම්වල ධාරිතාව ටොන් 11,000ක්.
ඉකුත් ජූලි 13 වනදා චීනයේ ජියැන්යින් වරායෙන් පිටත් වූ එම නෞකාව මේ වන විට පවතින්නේ තායිවානයට ආසන්න චීනයේ නැගෙනහිර මුහුදු සීමාවේ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.