
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනිද්දා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නව ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන නම් යෝජනා වී තිබෙනවා.
පාර්ලිමේන්තුවේ බෙදීමක් ඇති නොවී ඔවුන් දෙදෙනාගෙන් අයකු ජනාධිපතිවරයා ලෙස එකගතාවකින් පත්කර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයන් අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව සඳහන්.
මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල ගේ නුගේගොඩ පිහිටි නිවසේ ඊයේ පස්වරුවේ පවත්වා තිබුණා.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායම සහ හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ඇතුළු පක්ෂ හා කණ්ඩායම් රැසක් ඒ සඳහා සහභාගි වී ඇතැයි සඳහන්.
පාර්ලිමේන්තුව තුළ බෙදීමක් ඇති නොකර එක් අයකු ජනාධිපතිවරයා ලෙසත්, අනෙක් තැනැත්තා අගමැති ලෙසත් පත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කලා.
