
නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 46 දෙනෙකු අත් අඩංගුවට ගත් එරට වෙරළාරක්ෂක බළකායේ නිලධාරීන් , 06/30 දින උදෑසන ඕස්ට්‍රේලියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පිටුවහල් කර එවා තිබේ .
මොවුන් හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර , මෙසේ පිටුවහල් කර එවා ඇති පිරිස අතර වයස අවුරුදු 05 ට අඩු කුඩා දරුවන් දෙදෙනෙකු ද සිටිති .
මෙම පිරිස ඕස්ට්‍රේලියාවට අයත් ඒ.එස්.වයි.- 978 දරන විශේෂ ගුවන් යානයෙන් කෝකෝස් දූපතේ සිට 06/30 දින උදෑසන 08.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානය තුළ ශ්‍රී ලාංකිකයන් සමග එරට ආරක්ෂක අංශයේ නිලධාරීන් 100 කට අධික පිරිසක් ද පැමිණ තිබුණි .
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , මෙම ගුවන් යානයෙන් පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිස භාර ගෙන කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .

පසුව මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ගුවන් තොටුපළ ජාතික රහස් ඔත්තු සේවයේ නිලධාරීන් වෙත යොමු කර තිබෙන අතර , ඉන්පසුව මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ද යොමු කිරීමට නියමිතය .
එහිදී මොවුන් ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව , මෙම පිරිස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .