සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විදේශ රැකියා පුරප්පාඩු ඉක්මනින් පිරවීමට කඩිනම් වැඩපිළිවෙළක්

ලෝකයේ විවිධ රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින රැකියා සඳහා ශ්‍රී ලාංකික වෘත්තිකයන් යොමු කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා ඉක්මනින් පියවර ගන්නා ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර උපදෙස් ලබා දෙයි.

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින හෙද හා සාත්තු සේවා රැකියා සඳහා පුහුණු පාඨමාලා, උපාධි පාඨමාලා පවත්වන විශ්වවිද්‍යාල හා පුහුණු ආයතන සහ රැකියා සඳහා බඳවා ගන්නා බලපත්‍රලාභී රැකියා ඒජන්සි ආයතන නියෝජිතයන් සමඟ ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයේ දී පැවති සාකච්ඡාවේදීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙලෙස සඳහන් කළේය.

සාත්තු සේවක රැකියා ක්ෂේත්‍රයේ විශාල රැකියා අවස්ථා තිබෙනවා, එක්සත් රාජධානිය ඇතුළු රටවල එවැනි රැකියා 24000ක් පමණ තිබෙනවා, නමුත් මේ රැකියා සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් නොමැතිකම ගැටලුවක්ව තිබෙනවා, මේ වන විට රැකියා සඳහා යොමු කර ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක්, මෙතන විශාල හිඩසක් තිබෙනවා, එය ඉක්මනින් පිරවිය යුතුය. රටක් ලෙස විදේශ රැකියා ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට ඉතා හොඳ තත්ත්වයක් තිබෙන බවද මනුෂ නානායක්කාර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ලෝකයේ ඉතා වේගයෙන් රැකියා බිහිවන ක්ෂේත්‍රය තමයි සාත්තු සේවක හා හෙද රැකියා. ලෝකයේම වැඩිහිටි ජනගහනය වැඩිවෙමින් තිබෙනවා, මෙම තත්ත්වය අවබෝධ කරගෙන අවශ්‍ය සහය ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා, අපි රටක් ලෙස අපි වැටෙන්න තියෙන උපරිමය තැනට වැටිල තියෙන්නෙ, අපේ රට ණය ගෙවාගන්න බැරි රාජ්‍යයක් ලෙස නිවේදනය කරලා තියෙනවා, අපි ආණ්ඩුවට එන්න කථා කරන කොට තිබුණු තත්ත්වය නෙමේ දැන් රටේ තියෙන්නෙ, ඊට වඩා බරපතල තත්වයක රට තියෙන්නේ, අපි බාරගත්තේ අමාරුම වගකීමක්,

අපි දැන් දේශපාලනඥයින් නෙමෙයි, දේශපාලනය අමතක කරලා මේ තීරණය ගත්තේ ඒ අන් කිසිවක් නිසා නෙමෙයි මේ වෙලාවේ මේ රටේ ප්‍රශ්නය විසඳන්න ඕන නිසා, නමුත් ඇතැම් අය මේ වගකීම ගන්න කැමැති වුණේ නෑ, අපි මේ වගකීම බාර ගත්තේ මේ රට යම් තැනකට ඔසවා තැබීම සඳහායි යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

අපි අපේ නිෂ්පාදන වැඩි කරගන්න ඕන ඒ සදහා අපිට අමුද්‍රව්‍ය අවශ්‍ය නමුත් අමුද්‍රව්‍ය ගන්න ණයවර ලිපි විවෘත කරන්න ඩොලර් නෑ, අමුද්‍රව්‍ය නොමැති නිසා නිෂ්පාදනය නැතිවෙලා අපනයනය නැතිවෙනවා, රැකියා ලක්ෂ හතක් අටක් නැතිවෙන්න පුළුවන්, කර්මාන්තශාලා වැහුවොත් අපිට අපනයනය වැඩි කරන්න බැරි වෙනවා, දැන් අපි මොකද කරන්නේ, ඊලගට අපිට තියෙන්නේ සංචාරක ක්ෂේත්‍රය, නමුත් සංචාරකයන්ට පසුගිය දිනවල විවිධ හිරිහැර කළ නිසා ඒ අයට එන්න බැරි වෙනවා, මේ අවස්ථාවේ රට ගොඩනගන්න හොඳම ක්ෂේත්‍රය තමයි විදේශ රැකියා ක්ෂේත්‍රය ඉහළ නැංවීම බවත්, විදේශ විනිමය ලංකාවට ගෙනවිත් මෙම දැවෙන ආර්ථික ප්‍රශ්න විසඳන්න හොඳම ක්‍රමයයි බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

විශේෂයෙන් සාත්තු සේවා ක්ෂේත්‍රය විශාල වපසරියකින් යුක්ත අතර, එම නිසා රැකියා පුහුණු ආයතන මෙන්ම විදේශ රැකියා ඒජන්සි ආයතන එකතුවී වැඩි වශයෙන් මෙම රැකියාවලට ශ්‍රමිකයන් යොමුකිරීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට උපදෙස් ලබා දුන්නේය. ඒ සඳහා විදේශ නියුක්ති කාර්යාංශය මැදිහත්ව කටයුතු කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයන් පසුගිය මැයි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 304ක මුදලක් මෙරට නීත්‍යානුකූලව ප්‍රේෂණය කළ බවත්, එය අප්‍රේල් මාසයට සාපේක්ෂව එය සියයට 28 කට වැඩිවීමක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මාසයකට ඉන්ධන ගැනීම සඳහා සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 500 ක් පමණ වැයවෙන බවත් එයින් මිලියන 304ක්ම විදේශ ශ්‍රමික ප්‍රේෂණ මගින් ලබාදී ඇති බවද කියා සිටියේය. නමුත් දැනට විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයින් ප්‍රමාණය අනුව මසකට ඩොලර් බිලියනයක් ලංකාවට එවීමට හැකියාව තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම මුදල නිවැරදිව ලංකාවට ලැබුණහොත් දැනට පවතින ප්‍රශ්න රැසකටම විසඳුම් දීමට හැකි වන බවද සඳහන් කළ අතර නීත්‍යනුකූල මාර්ගයෙන් විදේශ ප්‍රේෂණ ලංකාවට එවීමේ වැදගත්කම අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දේශපාලන පක්ෂ රැකීමට හෝ දේශපාලන උවමනාවන් සිදු කිරීමට නොව රටේ පවතින ප්‍රශ්නය විසඳීමට තමාට අවශ්‍ය බවත්, ඒ සඳහා තමන් කැපවී සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »