
පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ සමයේ දැඩි කතාබහකට ලක් වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ විශේෂඥ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් සිය හිඟ වැටුප සම්පූර්ණයෙන් ම මෙරටට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා යළි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී තිබෙනවා.
මෙම වෛද්‍යවරයාට ඔහුගේ අත්හිටවූ සේවා කාලයට අයත් හිඟ වැටුප් හා දීමනා ජූලි මස 10 වැනි දිනට ප්‍රථමව යළි ගෙවන ලෙසට පසුගියදා අභියාචනාධිකරණය විසින් නියෝග කරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතටයි.
ඒ අනුවයි ෂාෆි වෛද්‍යවරයාට හිමිවිය යුතු හිඟ වැටුප් හා දීමනා ප්‍රදාන ලෙස රුපියල් මිලියන 02 හයලක්ෂ හැත්තෑපන්දහස් අටසිය දහසයයි, ශත හතලිස් අටක (2,675,816.48) ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තේ.

මීට අදාළ චෙක්පත වෛද්‍ය ෂාෆි වෙත ලැබී ඇති අතර, ඔහු තීරණය කර ඇත්තේ, තමන්ට ලද හිඟ වැටුප් හා දීමනා යළිත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීමටයි.
ඒ මේ වනවිට රට තුළ දැඩි අර්බුදයක් ව පවතින ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන මුදල් ලෙස තම හිඟ වැටුප ද එක් කර ගැනීමටයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකය වෙත පැමිණි කාන්තාවන් විශාල පිරිසක් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව වන්ධ්‍යකරණයට ලක් කරන ලදැයි යන චෝදනාව මත අනිවාර්යය නිවාඩු යවනු ලැබ සිටි විශේෂඥ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් යළි සේවයට කැඳවීමට තීරණය කෙරුණා.
දීර්ඝ කාලයක සිට විභාග කෙරුණු මීට අදාළ නඩුවේදියි මෙම තීරණය අධිකරණය විසින් ගැනුණේ.
ඒ අනුව අධිකරණය විසින් නියම කරනු ලැබුවේ, ඔහුට එකී කාලසීමාව තුළ නොගෙවා තිබූ සියලු වැටුප් හා සෙසු සියලු දීමනාවන් ගෙවා දැමිය යුතු බවටයි.
විනිසුරු සෝභිත රාජකරුණා සහ විනිසුරු ධම්මික ගණේපොළ යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය අධිකරණයේ මෙම තීරණය සමග සිය එකඟත්වය පළ කළා.
සේවයෙන් අනිවාර්යය නිවාඩු යවනු ලැබ සිටි කාලසීමාව සඳහා ලැබීමට නියමිතව තිබූ සියලු වැටුප්, දීමනා, අතුරු දීමනා, ජීවන වියදම් දීමනා යන සියලු හිඟ ගෙවීම් පෙත්සම්කාර වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට ගෙවීමට හැකියාව පවතින බැව් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මීට ඉහතදී අභියාචනාධිකරණයට නීතිපතිවරයා මගින් දැනුම් දී තිබුණා.
මේ අනුවයි අදාළ වෛද්‍යවරයාට හිඟ මුදල් ගෙවීම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරනු ලැබුවේ.