කටුනායක ගුවන් තොටුපළෙන් ගුවන් යානා ඉන්ධන ගැනීමේ දුෂ්කරතා

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙතින් ගුවන් යානා සදහා ඉන්ධන ලබා ගැනීමේදී ගුවන් සමාගම් කිසියම් ගැටලුවකට මුහුණ දෙන බවට වාර්තා පළවනවා.

සිදු විය හැකි ගැටළු අවම කර ගැනීම සදහා විකල්ප විසදුමක් ලෙස ඉන්දියාවේ චෙන්නායි, ඩුබායි සහ සිංගප්පූරුව වැනි ගුවන් තොටුපළ යොමු කිරීමට ගුවන් සේවා සමාගම් යොමු වෙමින් පවතින බවද සඳහන්.

ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය මගින් ගුවන් යානා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 1200 ක් දෛනිකව කටුනායක ගුවන් තොටුපළ වෙත ලබාදෙනවා.

කෙසේවෙතත් දැනට පවතින තත්ත්වය අනුව ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය මගින් මේවනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත දෛනිකව ලබාදෙන්නේ ගුවන් යානා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 600 – 700 ත් අතර ප්‍රමාණයක්.

ගුවන් යානා සඳහා කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්ධන ලබාගැනීමේ දුෂ්කරතා මතුවී ඇත්තේ මේ හේතුව මතයි.

පවතින තත්ත්වය අනුව ලබන මස 10 වනදා තෙක් ගුවන් යානා සඳහා දෛනිකව අවම වශයෙන් ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 400 ක් අලෙවි කළ හැකි බවයි කටුනායක ගුවන් තොටුපළ පවසන්නේ.